අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ, ගැටලු කිහිපයක් හේතුවෙන් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බවයි.
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10 ක් පැවැති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ යනු ඇති.
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා..
පළමු කිලෝමීටර් 10 තුළ එක් කිලෝ මීටරයකට තුන්වන පන්තිය සඳහා රුපියල් 2 යි ශත 60 කින් සහ දෙවන පන්තිය සඳහා රුපියල් 5 යි ශත 20 කින් මෙන්ම, පළමු පන්තිය සඳහා රුපියල් 10 ශත 40 කින් දුම්රිය ගාස්තු ඉහළ දමා තිබෙනවා.
ඩීසල් ලීටරයක මිල රුපියල් 400 ක්ව පැවති අවස්ථාවේ බස් ගාස්තුවෙන් අඩක් වන ලෙස
දුම්රිය ගාස්තු ද සංශෝධනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම, අදාළ දුම්රිය සංශෝධිත ගාස්තු අද සිට සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කිරිමට ද නියමිතයි.
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළ පරිදි අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ එය ලබන පළවනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.
ඒ අනුව අද සිට පැරණි මිල ගණන් යටතේ ප්‍රවේශපත් ලබා දෙන ලෙස සිය සාමාජිකයින් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ලබන සඳුදා සිට සුපුරුදු පරිදි ධාවනය වන බව එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බැටරි සහ ටයර්වල හිඟයක් පසුගිය කාලයේ පැවතිය ද එම ගැටලුව මේ වන විට මඟ හැරී ගොස් ඇති බවයි.