එළඹෙන ජූලි මස 25 වැනි දින යළි යථාවත් පරිදි ඇරඹීමට නියමිත 2022 පාසල් වර්ෂය සඳහා සියලුම පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම 21 වැනි දින පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවතිය ද රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ එය ජූලි මස 25 වැනි දින සඳුදා තෙක් කල් දැමුණා.
ජූලි මස 25 වැනි දින පාසල් ඇරඹීමේ දී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 07 වැනි දින තෙක් දීර්ඝ කර තිබෙනවා..
දෙවැනි හා තෙවැනි වාර පැවැත්වෙන කාල වකවානු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දෙනු ලබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි කාලවේලාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය මගින් 10-11 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ආවරණය වන පරිදි සංශෝධිත විෂය නිර්දේශ ලබාදෙන අතර එය 2022 ජූලි මස 25 වැනි දින සිට එම සංශෝධිත විෂය නිර්දේශ අනුව ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතුයි.
පළමු වාර පරීක්ෂණය නොපැවැත්විය යුතු අතර, විෂය ඒකක අවසානයේ තක්සේරුකරණය මගින් සිසු සිසුවියන්ගේ ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිපෝෂණ ලබාදීම සිදු කෙරෙනවා.
එමෙන්ම මෙලෙස ඇරඹෙන පාසල් පැවැත්වෙන්නේ සඳුදා , අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුනෙහි පමණක් වන අතර, සෙසු දෙදින තුළ නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දරුවන් යොමු කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දෛනික පාසල් පැමිණීමේ දී සිසු සිසුවියන්, අධ්‍යයන හා අන්‍යධ්‍යයන කාර් ය මණ්ඩල පාසල්වලට නියමිත වේලාවට පැමිණීම අනිවාර්ය වුව ද සාධාරණ හේතු මත සිදුවන නොපැමිණීම හා ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට වගබලා ගත යුතුය.
මේ අතර පාසල් කාලය තුළ අනවශ්‍ය ලෙස යොදා ගනිමින් හා අධික වියදම් දරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පරිබාහිරව වෙනත් බාහිර කටයුතු හා උත්සව සිදු නොකළ යුතු බව ද එහි සඳහන්.