සම්මාන උළෙලවල් රැසකදී සිය විශිෂ්ට රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍රවන ඇය ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය තුළද ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරියක්, නිෂ්පාදිකාවක්, ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත්නීය.
මේ සම්මානනීය රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මෙරටදී දකින ලද සුන්දරම ස්ථානය පිළිබඳ කතාබහක්.
ඇය මෙලෙස සති අන්ත පුවත්පතක් සමඟ මෙම සොඳුරු සංවාදය සිදුකර තිබුණා....
● ඔබ සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී මේ වන විට කොපමණ කලක් ගතවෙනවද?
රංගනය පිණිස මම ආරම්භය ගන්නේ වේදිකාවෙන්. පාසල් අවදියේ සහ ඉන් අනතුරුව වේදිකා නිළියක් ලෙස කලක් කටයුතු කිරීමෙන් අනතුරුව තමයි සිනමාවට පිවිසීම පිණිස මට අවස්ථාව උදාවන්නේ. එතැන් සිට මේ දක්වා මගේ මතකයේ හැටියට වසර 50 ක් හෝ ඊට මඳකට වැඩි කලක් මම ක්‍ෂේත්‍රයේ කටයුතු කරනවා.
● ඒ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ රංගන ශිල්පිනියක් ලෙස හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරියක් ලෙස කරන ලද රූගත කිරීම් අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කළ දර්ශන තලය හමුවන්නේ කුමන ප්‍රදේශයේදී ද?
අපේ රට කියන්නේ සුන්දරත්වයෙන් පිරුණ භූමියක්. මගේ නිර්මාණාත්මක ජීවිතය තුළ එවැනි ස්ථාන බොහෝමයක් දැක බලාගන්න මට අවස්ථාව උදා වුණා. ඒ අතරින් දකුණු මුහුදු තීරය කියන්නේ මම තදින්ම ඇලුම් කරන ප්‍රදේශය ලෙස හඳුන්වන්න කැමතියි. ඒ අතරින් තංගල්ල උස්සන්ගොඩ කියන ප්‍රදේශය මට විශේෂයි.
● එම ප්‍රදේශය ඔබට විශේෂ වන්නේ කුමන අරුථකින් ද?
විශේෂයෙන් ම ඒ ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම ගත්තොත් මෙරට වෙනත් ස්ථානයකදී දැකගත නොහැකි සුවිශේෂීය ලක්‍ෂණ කීපයක් පවතිනවා. සිනමා නිර්මාණයක් වේවා, එහෙමත් නැත්නම් ටෙලිනාට්‍ය රූපගත කිරීමක් වේවා එම නිර්මාණාත්මක කටයුත්ත වඩාත් කලාත්මකව අවසන් කරන්න පුළුවන් එකිනෙකට වෙනස් පසුතල රැසක් එම ප්‍රදේශය තුළ පවතිනවා. රතු පසක් සහිත උස්සන්ගොඩ ප්‍රදේශය කියන්නේ එක පසෙකින් තෙරක් නොපෙනෙන මුහුදෙන් සහ අනෙක් පසින් විවිධ වූ භූ ලක්‍ෂණ ආදියෙන් ගහන ප්‍රදේශයක්. ඒ හේතුවෙන් යම් නිර්මාණයක් රූගත කරන්න පමණක් නොවෙයි නිදහසේ කාලය ගතකරන්නත් ඒ ප්‍රදේශය කදිම තැනක්.
● දකුණු මුහුදු තීරයේ සුන්දරත්වයට අමතරව එම රූගත කිරීම් අතරතුර අත්විඳින ලද වෙනත් අත්දැකීම් මොනවද?
ඔව්. වෙනත් අත්දැකීමක් ලෙස දකුණේ කරන ලද සෑම රූගත කිරීමක් අතරතුරම දකුණුලක ජනතාවගේ ආදරය ආගන්තුක සත්කාරය නොඅඩුව ලබන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ අය තුළින් මම දකින තවත් විශේෂත්වයක් තමයි කලාවට බෙහෙවින් ඇලුම් කිරීම.
● පොදුවේ ගත්කල ඔබේ සිනමා හා ටෙලිනාට්‍ය ජීවිතය පිළිබඳ යම් මෙනෙහිකිරීමක් සිදුකරනවා නම්
මම මේ වන විට චිත්‍රපට 115 කට ආසන්න ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ටෙලිනාට්‍ය පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක රඟපාලා තියෙනවා. ඒ අතරට මා විසින් අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍ය කීපයකුත් ඇතුළත් වෙනවා. ඇත්තටම ඒ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගත්තොත් ලංකාවේ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගත් නිර්මාණ ගණනාවක්ම ඒ අතර පවතිනවා.
● උස්සන්ගොඩ පිළිබඳව පවතින කැමැත්ත අදත් ඔබ තුළ ඒ ආකාරයෙන්ම පවතිනවද?
එය කවදාවත්ම වෙනස් වන්නේ නැහැ. මගේ පියාණන් මහනුවර ප්‍රදේශයේ උපන් පුද්ගලයෙක් වීම හේතුවෙන් ඒ ප්‍රදේශය පිළිබඳවත් මා තුළ කවදත් ලොකු ගෞරවයක් හා කැමැත්තක් පැවතුණා. නමුත් දකුණු මුහුදු තීරයත් විශේෂයෙන් ම උස්සන්ගොඩ හා ඒ ආශ්‍රිත සුන්දරත්වයත් කෙරෙහි මා තුළ ලොකු කැමැත්තක් පවතිනවා. හිරු බසින සැන්දෑවක උස්සන්ගොඩ අහසේ දකින්නට ලැබෙන චමත්කාරය ලෝකයේ කිසිම සිත්තරකුගේ තෙලිතුඩට හසුකරගන්න බැරි මනරම් දර්ශනයක් කියන විශ්වාසය මා තුළ පවතිනවා.
● රුවන් ජයවර්ධන
දිවයින ඉරිදා සංග්‍රහය