දෙමටගොඩදී මහ දහවල් බලහත්කාරයෙන් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සම්බන්ධය සෙවීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පැහැරගැනීමේ සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් එකක් බවට මේ වනවිට තහවුරු වී අවසන්. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා පවසන්නේ පැහැරගත් පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් වන බවයි.
ඊයේ (21) පස්වරු 2.30 ට පමණ අදාළ ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ දෙමටගොඩ රෙදිපිළි අලෙවිසැලක සේවය කරන 34 හැවිරිදි අමිල ප්‍රියංග අමරසිංහ නැමති ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
එම සිද්ධිය වෙළඳසැලේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේද සටහන් වී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු අදාළ වෙළඳසැලේ සේවකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අලෙවිසැලට ඇතුලූවූ පුද්ගලයින් මෙම පැහැරගැනීම සිදුකළ බවයි.
සිද්ධිය ඇසින් දුටු වෙළෙඳසැලේ සේවකයෙක්....
"කඩේ ඇතුළතට දෙන්නෙක් ආවා... උස එක්කෙනයි කෙට්ටු එක්කෙනයි ඇවිත් අමිල ද කියලා ඇහුවා... ඔව් කියපුවාම ෆෝන් එකත් අරගෙන එළියට එක්කගෙන ගියා..... ඊට පස්සේ ඇදලා ගහලා ජීප් එකේ දාගෙන ගියා...."
පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ පුද්ගලයින් තමන්ව දෙමටගොඩදී පැහැරගෙන කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ කාර්යාලයට රැගෙන ගිය බවයි.
පැහැර ගැනීමට ලක්වූ අමිල ප්‍රියංග අමරසිංහ සිද්ධිය විස්තර කරමින් ...
"මාව ඇදගෙන ගියා.... ඔලුවට ගැහුවා... බඩට ගැහුවා...පස්සේ දැන ගත්තේ මාත් කොළොන්නොවේ ඉන්නේ මේ හිරුණිකාගේ බොඩිගාඩ්ලා කියලා.... ඔක්කොම 8ක් හිටියා..... මට කිව්වා... කුඩු පැකට් එකක් එක්ක ඇතුළට දානවා... මාව එතනින් අරගෙන ගියා... හිරුණිකාගේ කාර්යාලයට... කොළොන්නාවේ යූ.සී. එක ළග තියෙන.... ඇදගෙන ගිහිල්ලා ඇතුළට දැම්මා... හිරුණිකා හිටියා පුටුවක වාඩි වෙලා... නැගිටලා ඇවිල්ලා ආ...මෙයාද කියලා ඇහුවා... මේසේ උඩ ඉදගෙන කිව්වා... මං කොහේ හිටියත් මට උස්සන්න පුළුවන් බලයක් තියෙනවා.... මම ලෝයර් කෙනෙක්...මං දන්නවා මොකක්ද කරන්න ඕන කියලා...පොලිසියට ඕන දෙයක් කියපං උඹ... මට ඕන දේ මං කරනවා කිව්වා...."
මෙම පැහැරගැනීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයින් හයදෙනෙකු අද (22) පස්වරුවේ අදාළ ඩිෆෙන්ඩර් රථයද සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා.
ඔවුන් සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියද පැමිණ සිටි අතර, සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් තවදුරටත් ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ ඩිෆෙන්ඩර් රථය මන්ත්‍රීවරියට අයත් බවට තහවුරු වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
යහපාලනයට මුවාවී පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියකගේ ගෝලයින් මෙලෙස තමන්ගේ 'චන්ඩිකම්' පෙන්වීම අසරණ මිනිසුන් යොදාගන්නේ ඇයිදැයි ප්‍රදේශවාසීන් ද විමසා සිටී.