ඉකුත් 27 වැනිදා අකුරැස්ස පොලිස් වසමේ තිබ්බොටුවාව ප්‍රදේශයෙන් වාර්තා වූයේද එවන් ඇඟ පොලා යන අමානුෂික ඝාතනයකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 72ක වයෝවෘද්ධ අයෙකි. මෙම වයෝවෘද්ධ පුද්ගලයාගේ ගෙල කඩුවකින් වෙන් වෙන්නම කපා ඔහුගේ හිස කොටස රැගෙන ගොස් කිඹුලන්ගෙන් ගහන නිල්වලා ගඟට දැමීමට තරම් සාහසික වී තිබිණි.
මෙම සිද්ධිය අකුරැස්ස පොලිසියට වාර්තා වූයේ ඉකුත් 27 වැනිදා උදේ 11ට පමණය. ඒ 119 හදිසි ඇමතුම් අංශය විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් මතය.
ඒ අනුව අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මිනිස් ඝාතනය සිදුවූ බව කියන තිබ්බොටුවාව, තලගස්ස රවුම් පාර කලුගමහේන ප්‍රදේශයේ නිවෙසට ගියහ.
ඒ වනවිට එම නිවෙස තුළ තිබුණේ මරලතෝනියකි. නිවෙස තුළ හිස කඳෙන් වෙන්කළ පුද්ගලයකුගේ සිරුරක් විය. පොලිස් නිලධාරීන් කළ විමසීමේදී අනාවරණය වී තිබුණේ මියගිය පුද්ගලයාගේ බිරිය හා දියණියද කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවය.
සිදුවීම අකුරැස්ස ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා සහ මාතර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ට දැනුම්දෙනු ලැබීය. ඒ අනුව ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයාද සිද්ධිය වූ නිවෙස වෙත පැමිණියේ විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමටය.
නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කරන ලද අතර එහිදී අනාවරණය වූයේ මියගිය පුද්ගලයා කලක් දේවාල කපුවකු ලෙස ගොඩපිටිය විහාරස්ථානයේ සේවය කර ඇති බවය. පසුව ඔහු දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර රෝගය උත්සන්න වීමෙන් ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කර තිබිණි. ඉන් අනතුරුව ඔහු පසුගිය කාලයේ නිවෙසේ සිටම ගුරුකම්, ශාස්ත්‍ර කීම් ඇතුළු යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරමින් ජීවිකාව කරගෙන ගොස් ඇත. මේ නිසා ගමේ බොහෝ අය ඔහු සාස්තර අයියා ලෙසද හඳුන්වනු ලැබීය.
සිද්ධියෙන් මරණයට පත් වූ ඔහු හැත්තෑ දෙහැවිරිදි වේලාතන්ත්‍රිගේ සුමනපාල නමැති දෙදරු පියෙකි. තුවාල ලැබූ ඔහුගේ බිරිය 64 හැවිරිදිය. දියණියට වයස අවුරුදු 40කි. මොවුන් තුවාල ලබා ඇත්තේ මියගිය පුද්ගලයා බේරාගන්නට උත්සාහ කළ මොහොතේදීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට වැඩි මොහොතක් යන්නට කලියෙන් එම අමානුෂික අපරාධය සිදුකළ පුද්ගලයා කවුදැයි හඳුනාගත හැකි විය. ඔහු සිද්ධිය වූ නිවෙසට යාර 50ක පමණ අෑතින් පදිංචිකරුවෙක් වූ සුරංග නමැත්තෙකි.
කෙසේ වෙතත් ඝාතකයා මරා දැමුණු සුමනපාල යකැදුරාගේ හිස කොටස රැගෙන යෑමට තරම් දරුණු වූයේ මන්දැයි විමර්ශන නිලධාරීන්ට මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය.
නිවෙස පුරා විසිරී තිබූ රුධිර සලකුණු ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායම ඉදිරියටම ගිය අතර එම ලේ සලකුණු නිල්වලා ගඟ අසලින් නතර වී තිබිණි.
එතැනින් එහාට ලේ සලකුණු කිසිවක් දක්නට නැත. සහකාර පොලිස් අධිකාරිවරයා කීවේ කඳෙන් වෙන් කරන ලද හිස රැගෙන ගිය මාර්ගය දිගේ එම ලේ බිඳු වැටෙන්නට ඇති බවත් නිල්වලා ගඟ අසලින් එම ලේ බිඳු නතර වී ඇත්තේ මරා දැමුණු පුද්ගලයාගේ හිස නිල්වලා ගඟට දමන්නට ඇති නිසාත් බවය. හිස කොටස ගඟට වැටුණු ප්‍රදේශය මිනී කන කිඹුලන්ගෙන් ගහන බවද වාර්තා විය. නිවෙසේ සිට ගඟට ඇත්තේ මීටර් 350ක පමණ දුරකි.
කෙසේ වෙතත් සුමනපාල යකැදුරා ඝාතනය කරන අයුරු ඇසින් දුටුවන් අතර සුමනපාලගේ බෑනණුවන්ද විය. සිද්ධිය ඇසින් දුටු අනෙක් දෙදෙනා සුමනපාලගේ බිරිය සහ දියණියයි. ඔවුන්ගෙන් පොලිසියට ඒ මොහොතේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූයේ ඔවුන් ඒ වනවිටත් මාතර රෝහලේ ශල්‍යකර්මයකට භාජන කර තිබූ නිසාය.
විමර්ශනවලදී ඇසින් දුටු සාක්ෂි කිහිපයක් සොයාගැනීමට අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට හැකි වූහ.
“මිනිහා කඩුවක් අරන් උදේත් ආවා. කඩුව සුමනපාල අයියගේ බෙල්ලට තියලා තර්ජනය කරලා තිබුණා. එයාගේ බිරියයි දුවයි කෑගහලා සුමනපාල අයියව බේරාගන්න හැදුවා. ඒ පුද්ගලයාගේ ගෙදර කට්ටියත් ඇවිල්ලා එයාව ඇදගෙන ගියා. දෙවැනි පාරටත් ඔහොම ඇවිල්ලා තමයි සුමනපාල අයියගේ බෙල්ල කපලා තියෙන්නේ. එයාව බේරගන්න ගිය සුමනපාල අයියගේ නෝනවයි දුවවයි කඩුවෙන් කපලා තිබුණා.”
සිද්ධිය සම්බන්ධයෙන් ඒ අවට පුද්ගලයකු පොලිස් නිලධාරීන් හමුවේ කීවේය. මේ අනුව නිලධාරීන් ඊළඟට ගියේ ඊට යාබද පදිංචිව සිටි සැකකරු සොයාය. ඔහු 24 හැවිරිදිය. මොහු පීලි බාස් කෙනකු ලෙස රැකියාව කරමින් සිටි අයෙකි.
විමර්ශන සම්බන්ධයෙන් මාතර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරමින් ඔහුගේ උපදෙස් මත ක්‍රියා කළ අතර සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා විමර්ශන කණ්ඩායම සමඟ ගැටෙමින් සිද්ධියේ සුලමුල සොයන්නට නිරතව සිටීම විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් විමර්ශනයේදී සුමනපාල කට්ටඩියා සිද්ධියට පෙර දින රාත්‍රියේ ඒ අවට නිවෙසක තොවිලයකට සහභාගි ඇති බවටද තොරතුරු ලැබිණි. ඒ අනුව ඉකුත් 26 වැනිදා රාත්‍රියේ සැකකාර තරුණයාගේ වත්තේ පිහිටි ඔහුගේ මිත්තණියකගේ සොහොනක් මත කිසියම් යන්ත්‍ර මන්ත්‍ර වැඩක් සිදු කිරීම නිසා ඊට උරණ වූ සැකකරු සුමනපාල ඝාතනය කර ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබිණි.
ඒ අවස්ථාවේ ඔහු සිය මව සහ පියා සමඟ නිවෙස් සිට ඇති අතර බල්ලන් බුරන ශබ්දය ඇසී ඔහුගේ මව නිවෙසේ ෙදාර විවර කර බලද්දී කිසියම් පුද්ගලයකු වත්ත පහළ සොහොන අසල සිට දිවයනු අයුරු ඇය දැක තිබේ. ඒ සමඟම ඇගේත් ඇගේ පුතාගේත් සැකය එල්ල වූයේ කට්ටඩියකු වූ සුමනපාල වෙතය. සුමනපාල සහ සැකකරුගේ පාර්ශ්වය අතර ආරවුලක් තිබිණි. ඒ නිසා සුමනපාල තම පවුල විනාශ කිරීම සඳහා කොඩිවිනයක් කරන්නට ඇතැයි සැකකරුගේ පාර්ශ්වය සැක පළ කර තිබිණි.
කෙසේ වෙතත් පසුදාට පහන් වූයේ එවන් සැකසංකා සහ සුමනපාල කෙරෙහි ඇති වූ දැඩි කෝපය මතය. කේන්තියෙන් පසු වූ සුරංගට අවශ්‍ය වූයේ සුමනපාල කට්ටඩියාට හොඳ පාඩමක් ඉගැන්වීමටය. ඔහු නිවෙස් තිබූ තියුණු කඩුව අතට ගත්තේ ඒ නිසාය. මාරාවේෂයකු ලෙස කඩුවද අතට ගත් ඔහු සුමනපාලගේ නිවෙස වෙත දිවයද්දී ඔහු වළකාලන්නට මවුපියන් ගත් උත්සාහය සාර්ථක නොවීය.
“අනේ පුතේ… මොකක්ද මේ කරන්න යන්නේ…?”
කමලාවතී පුතාගේ ඇඟේ එල්ලුණාය. ඒත් ඔහු නතර කිරීමට ඇයට හැකි වූයේ නැත. අඩියට දෙකට ඔහු සුමනපාලගේ ගෙට කඩා වැදුණේ තියුණු කඩුවද අතැතිවය. නිවෙසේ සිටි බිරියත් දියණියත් ඉන් තැති ගත්හ.
ඒත් සුරංග පසුපසින් පැමිණි ඔහුගේ පියා පුතාව සන්සුන් කරමින් යළි නිවෙසට ඇදගෙන ආ බවට ප්‍රදේශවාසීහු පොලිසියට කීහ. එහි ඇත්ත නැත්ත දැනගැනීමට සුරංග සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසා පොලිසිය ඒ සම්බන්ධයෙන් සුරංගගේ මව වන කමලාවතීගෙන් ප්‍රශ්න කරන්නට විය.
සුරංග තිබ්බොටුවාව, මලකඩවත්ත පදිංචිව සිටින්නේ සිය මවත් පියාත් සමඟය. සෝමදාස සුරංගගේ පියාය. කමලාවතී මවය. සුරංගට සොහොයුරියන් දෙදෙනෙක්ද විය. කමලාවතීගේ දියණියන් දෙදෙනා විවාහ වී නිවෙසින් ගිය පසු සුරංග සිය මව හා පියා සමඟ ඇති දැඩි විය. සෝමදාස ගමෙන් ගමට ගොස් කොස් විකිණීම සිදුකරන හෙයින් බොහෝ අය ඔහු හැඳින්වූයේ ‘කොස් කළුවා’ ලෙසය. මේ නිසා සෝමදාසගේ පුතා වූ සුරංගටද කවුරුත් කීවේ ‘කළු මල්ලී’ කියාය. ඊට අමතරව කමලාවතී නිවෙසේ බීඩි එතීමද සිදුකරමින් කිසියම් මුදලක් උපයා ගත්තාය.
පොලිසිය කමලාවතීගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. ඇය එහිදී මෙසේ කියා සිටියාය.
“මම මගේ මහත්තයත් පුතත් එක්ක ගෙදර නිදාගෙන හිටියේ. වත්තේ තියෙන සොහොන පැත්තෙන් සර බර ගාලා සද්දයක් ඇහුණා. ඒත් එක්කම බල්ලො බුරන සද්දයකුත් ඇහුණා. මම හිමිහිට ෙදාර ඇරලා බැලුවා. එතකොට මම දැක්කා මිනිස්සු දෙන්නෙක් මගේ අම්මා වළ දාපු සොහොන ගාව ඉඳලා සුමනපාලගේ ගේ පැත්තට යනවා. පස්සේ මම ෙදාර වහලා නිදාගත්තා. ඒ වෙලාවේ මගේ පුතාත් ඇහැරිලා හිටියේ. එයා එකපාරටම ඔළුව දෙපැත්තට කර කර උන් මට මොකක් හරි කරලා තියෙනවා. ඒක කරපු එකා මම දන්නවා කියලා කිව්වා. මම පුතාට තේ එකක් වක්කරලා දීලා පුතාට නිදියගන්න කිව්වා”
“පහුවදා උදේ 07 වෙනකොට පුතා නැඟිටලා හිටියේ. මම උදේට කන්න බතුයි, පරිප්පුයි, කට්ට සම්බෝලයකුයි හැදුවා. ඒත් කවුරුත් බත් කෑවේ නැහැ. ඒත් එක්කම පුතා කිව්වා ගෙදරට ඇතුළුවන ෙදාරකඩ ළඟ දෙහි කපලා දාලා තියෙනවා. ආච්චිගේ සොහොන ගාවත් දෙහි කපලා තියෙනවා. මම දන්නවා මේක කරපු කෙනා කවුද කියලා. එහෙම කියාගෙන පුතා සාස්තර අයියලා ගෙදර පැත්තට ගියා. ඒ පස්සෙන් මගේ මහත්තයාත් දිව්වා. ගිහිල්ලා පුතාව එක්කරගෙන ආවා. මහත්තයා මට කිව්වා පුතා සාස්තර අයියට ගහන්න ගියා මම ඇදගෙන ආවා කියලා”
කමලාවතී පොලිසියට කටඋත්තරයක් දෙමින් සිදුවූ දේ කියන්නට වූවාය. සුමනපාලට පහර දෙන්නට ඇගේ පුතා ගොස් තිබුණේ තියුණු කඩුවක්ද අතැතිවය. ආවේගශීලීව හැසිරුණු ඔහු රැගෙන ගිය කඩුව සුමනපාලගේ ගෙලට තැබීමට සූදානම් වූවා පමණි. සෝමදාස නිලංග පුතාවද ඇදගෙන යළි ගෙදරට ආවේය. මින් සුමනපාලගේ බිරිය ඇතුළු නිවෙසේ සිටි අය සුමනපාලව කාමරයකට දමා වසා දැමීය. ඒ ඔහුට යළි කරදරයක් වෙතැයි සිතූ නිසා වන්නට ඇත. සුරංග ඉන් මෙල්ල නොවීය.
“දහයට විතර ආයෙත් පුතා කඩුවත් අරගෙන ගෙදර පිටුපස පැත්තෙන් සුමනපාලලාගේ ගෙවල් පැත්තට දුවලා ගියා. එයාගේ පස්සෙන් මමත් මහත්තයත් දිව්වා. මමත් මහත්තයත් සුමනපාලගේ ගෙදර පිටිපස්සෙන් ඇතුළු වෙනකොට මම දැක්කා සුමනපාල සාලයේ ඉඳගෙන මගේ පුතාත් එක්ක රණ්ඩු වෙනවා. මගේ මහත්තයා ගිහිල්ලා සුමනපාලව බදලා අල්ලගත්තා. මම පුතාට කිව්වා ගෙදර යමං කියලා. ඒත් එක්කම පුතා සුමනපාලට කඩුවෙන් ගැහැව්වා. සුමනපාල බිම වැටුණා. පුතා ගහපු කඩු පාර සුමනපාලගේ අතකට වැදිලා එතැනින් ලේ ගලන්න වුණා. ඉන් පස්සේ එයා සුමනපාලගේ බෙල්ල කපලා ඔළුවත් අරගෙන පිටිපස්ස ෙදාරෙන් පැනලා දිව්වා. මම පුතේ පුතේ කියලා කෑ ගැහැව්වා. ඒත් එයා නතර වුණේ නැහැ. දිගටම දිව්වා. පස්සේ මම මහත්තයවත් ඇදගෙන මගේ ගෙදර ගිහින් අතපය සෝදලා ගෙදර ෙදාරත් වහලා දැම්මා”
කමලාවතී පොලිසිය හමුවේ එසේ කියන්නට වූවාය. එමෙන්ම සුමනපාලගේ පවුලේ උදවිය සමඟ මායිම් ආරවුලක් නිසා අමනාපයක් පවතින බවත් ඒ නිසා දැනට වසර පහක පමණ කාලයක සිට සුමනපාලගේ නිවෙසට යෑම් ඊම් නොකරන බවද ඇය නිලධාරීන් හමුවේ කීවාය.
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා සිටියේ සුමනපාල කොඩිවිනයක් කරන අයුරු තමා නොදුටුවද තම මවගේ සොහොන අසල සිටි අයකු ඒ පැත්තට ගිය නිසාත් ඔවුන් සමඟ අමනාපයක් ඇති නිසාත් සුමනපාල විසින් තම පාර්ශ්වයට කොඩිවිනයක් කර ඇතැයි සැකකළ බවය.
“සුමනපාලගේ ගෙදර සුමනපාලයි එයාගේ නෝනයි ලොකු දුවයි හිටියා. ඒ අයත් පොලු උස්සගෙන ඇවිත් මගේ ළමයට ගැහුවා. එතකොට තමයි පුතා එයාලටත් කඩුවෙන් කොටලා එළියට ඇදලා දැම්මේ.”
කමලාවතී කියන්නට වූවාය. ඇගේ ප්‍රකාශය අනුව සුමනපාල මරා ඔහුගේ හිස කොටස රැගෙන ගොස් ඇති සැකකරු ඇගේ පුතා බව පොලිසිය තහවුරු කරගත්තේය. ඉන් අනතුරුව පොලිසිය කෙසේ හෝ සුරංග කොටුකර ගැනීමට උත්සුක විය. සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මේ සඳහා සෘජු නායකත්වය දෙමින් පොලිස් කණ්ඩායමක් ඒ සඳහාම යෙදවීය.
ඒ වනවිට සැකකරු හිටියේ ගමෙන් පලාගොසිනි. පොලිසිය ඔහු සොයාගන්නට මහත් වෙහෙසක් දැරූ අතර සුමනපාලගේ සිරුරෙන් වෙන් කරන ලද හිස කොටස නිල්වලා ගඟට දැමුවේ යැයි සැකය මත කිමිඳුම්කරුවන් යොදා ගඟට දැමූ හිස සොයා ගැනීමටද සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගත්තේය.
මේ අතර ඉකුත් 28 වැනිදා අලුයම අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ලලිත් යන නිලධාරියාට ඒ කොස් කළුවගේ පුතා සම්බන්ධයෙන් තොරතුරක් ලැබිණි. ඔහු අකුරැස්සේ ඕවිටමුල්ල ප්‍රදේශයේ සිටින බව කියමිනි. ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට යැවූ සහකාර පොලිස් අධිකාරිවරයා සැකකරු අත්අඩංගුවට ගෙන තමා වෙත ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට නියෝග කළේය. මොහොතකට පසු සැකකරු මාර්ගයේ සිටියදී අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.
“මිනිහා ඉස්සෙල්ලාම හැසිරුණේ මිනිහට කවුරු හරි ගුරුකමක් කරපු පුද්ගලයෙක් විධියට ඔළුව වන වන කට පැත්තකට හරවාගෙන ගුරුකමක් කරපු අයෙක් විධියට. පස්සේ අපි දැනගත්තා මිනිහා මේ ප්‍රශ්නෙන් බේරෙන්න බොරුවක් කරනවා කියලා. මිනිහට කාරණය තේරුම්කරලා දීලා යථා තත්ත්වයට පත්වුණාට පස්සේ මිනිහා සිද්ධිය වැමෑරුවා”
සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා කීවේය.
“මම රස්සාවට කළේ වැහි පීලි හදන එක. මම මීට අවුරුදු තුනකට කලින් විවාහ වුණා. ඒත් මමත් එක්ක ප්‍රශ්න ඇතිවෙලා එයා එයාලගේ ගෙදර ගියා. දැන් එයා මගෙන් අයින් වෙන්න මොරවක උසාවියේ නඩුවක් දාලා තියෙනවා.
අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා පැත්තේ සාස්තර අයියා පදිංචිවෙලා හිටියා. එයා අපිට කොඩිවින කරනවා.
එදා මම වැඩට ගියේ නැහැ. එදා මමයි, අම්මයි, තාත්තයි ගෙදර හිටියෙ. තාත්තා උදේට කොස් කඩාගෙන විකුණන්න අරගෙන යනවා. ඒත් එදා තාත්තා ගියේ නැහැ.
ඊට කලින්දා රාත්‍රියේ සාස්තර අයියා අපිට කොඩිවිනයක් කරලා ගේ පිටිපස්සේ සොහොන උඩ දෙහි කපලා ගෙනත් දාලා තිබුණා. ඒක මම පහුවැනිදා උදේ දැක්කා. ඒක දැක්කම මට තරහක් ආවා. මම ඒ දෙහි කෑලි අම්මටයි තාත්තටයි පෙන්නලා කඩුවත් අරගෙන සාස්තර අයියගේ ගෙදරට ගියා. සාස්තර අයියා සාස්තර මඩුවෙ හිටියා. මම කඩුව බෙල්ලට තියලා බැනලා ගෙදර ආවා.
ගෙදර එද්දි ගෙදර කඩුල්ල ළඟත් කපලා දාපු දෙහි තිබුණා. ඒක දැක්කම මට තවත් තරහා ආවා. ඊට පස්සේ මම ගෙදර පිටිපස්සෙන් කඩුවත් අරගෙන සාස්තර අයියලා ගෙදරට ගියා. මගේ අම්මයි, තාත්තත් ආවා. මම යනකොට ෙදාරවල් වහලා තිබුණේ. මම ෙදාරට ගැහැව්වත් ෙදාර අරින්න බැරිවුණා. මම කඩුවත් අරගෙන ගේ පිටිපස්ස පැත්තෙන් යද්දි සාස්තර අයියගේ පවුල චන්ද්‍රාවතීත් හිටියා. මම මුලින්ම එයාට කඩුවෙන් ගැහුවා. ඇගේ කෑගැහිල්ලට දුව ආවා. එයාටත් මම කඩුවෙන් ගැහැව්වා. එත් කොහෙට වැදුණද දැක්කෙ නැහැ. ඒත් සාස්තර අයියා පේන්න හිටියේ නැහැ. පස්සේ මම ආයෙත් ඉස්සරහ ෙදාරට ගහලා ෙදාර ඇරගත්තා.
සාස්තර අයියා ඉස්සරහ කාමරේ රෝද පුටුවෙ ඉඳගෙන හිටියා. සාස්තර අයියා කෑගහද්දීම මම එයාව එළියට ඇදලා ගත්තා. එතකොට එයා වැටුණා. මම තාත්තට කිව්වා සාස්තර අයියාගේ අත්දෙක අල්ලගන්න කියලා. තාත්තා බිම වැටිලා හිටිය සාස්තර අයියගේ අත්දෙක අල්ලගෙන ඉඳිද්දි මම අතේ තියෙන කඩුවෙන් සාස්තර අයියගේ බෙල්ලට ගහලා ගහලා බෙල්ල වෙන් වෙන්නම කැපුවා. තාත්තයි, අම්මයි ඒ වෙලාවේ එළියට පැන්නා. පස්සේ සාස්තර අයියගේ වෙන්වුණු ඔළුවයි, කඩුවයි අරගෙන ගෙදර පිටිපස්සේ ෙදාරෙන් එළියට බැහැලා ගඟට යන පාර දිගේ ගිහින් සාස්තර අයියගේ ඔළුව ගඟට දැම්මා”
සැකකරු පොලිසිය හමුවේ පවසා සිටියේ අවශ්‍ය නම් හිස ගඟට දැමූ ස්ථානය හා සාස්තර අයියගේ හිස කඳින් වෙන් කිරීමට උපයෝගී කරගත් කඩුව සඟවා තිබූ තැනද පෙන්විය හැකි බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට සාස්තරකරුගේ හිස ගඟට දැමූ ස්ථානය පෙන්වූ අතර ඔහුගේ හිස වෙන් කරන ලද තියුණු කඩුව ද සඟවා තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.
සැකකරු සමඟ ඝාතනයට අනුබල දීමේ චෝදනා මත ඔහුගේ මව සහ පියාද අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළාය.
කෙසේ වෙතත් මේ වනතුරුත් මරා දැමුණු පුද්ගලයාගේ හිස කොටස සොයා ගැනීමට නොහැකි වූ අතර එය නිල්වලා ගඟේ සිටින මිනීමරු කිඹුලන් විසින් ගිල දමන්නට ඇතැයි පොලිසිය කීය.
මීට කලකට පෙර මෙවන් ආකාරයේම ඝාතනයක් හංවැල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ සිය පෙම්වතියගේ හිස කඳින් වෙන්කළ උප පොලිස් පරීක්ෂකවරයකු ගැනය. පසුව ඔහු සියදිවි හානිකර ගත්තද ඔහු විසින් කඳෙන් වෙන්කර රැගෙන ගොස් තිබූ පෙම්වතියගේ හිස කොටස මේ වනතුරුත් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.
දකුණු පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මාතර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් අකුරැස්ස පොලිස් ස්ථානාධිපති එස්.එස්. ජයවීර ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.
පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කෙරිණි. සුරංග යනු මන–කල්පිත නමකි.
ඡායාරූප:-අතුරලිය එස්. විජිත
උපුටා ගැනීම මව්බිම පුවත්පත