එහෙත් නොයෙකුත් හේතූන් මත දැඩි අසීරුතාවෙන් ජීවත්වන පුද්ගලයන් කල්යෑමේදී මෙම ණය වාරික ගෙවා ගත නොහැකිව සිය වාහන සීසර්ලාට බිලිදෙති.
වාරික 60ක් ගෙවීමේ පොරොන්දුව මත ණය වාරික ලබාගෙන ඉන් වාරික 48ක් ගෙවා ඉතිරි වාරික දෙක ගෙවීමට ප්‍රමාද වුවද එම වාහන සීසර්ලා විසින් රැගෙන යන්නේ වාහන හිමිකරුට කිසිදු ඉඩප්‍රස්තාවක් ලබා නොදෙමිනි.
මූල්‍ය ආයතන සහ කල්බදු සමාගම් සීසර්ලා මේ සඳහා යොදවා ගන්නේ ඔවුනට විශාල මුදලක් ලබාදෙමිනි.
සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් අඩපණ වූ රටේ ආර්ථිකය උග්‍ර තත්ත්වයකට පත්වූයේ කොරෝනා වසංගතයත් සමඟිනි. 2020දී ලොවපුරා වෙළා ගත් කොරෝනා වසංගතය අපේ රටට දැඩි බලපෑමක් එල්ල කළ අතර මේ නිසා අහිමි වූ ජීවිත ගණනද අති විශාල වේ.
එමෙන්ම මුළු රටම වසා දැමීමටද කොරෝනා ව්‍යාප්තිය හේතුවක් විණි. මේ නිසා දැඩි ලෙස අසරණ වූ ජනතාව නිවෙස්වලට සීමා වූ අතර රට පුරා පැනවූ ඇඳිරි නීතිය සහ නිරෝධායන ක්‍රමවේද නිසා විශාල පිරිසකට රැකියාව අහිමි විණි. ව්‍යාපාර කටයුතු ඇතුළු මුදල් උපයන මාර්ගයන් සියල්ලම නතර වීමත් සමඟ දරු පවුල් නඩත්තු කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගත විණි.
මේ නිසා අසරණ වූ ජනතාව අතර ණය වාරික ගෙවීමේ පදනම මත වාහන ලබාගත් පිරිස්ද වෙති. තම වාහන මාර්ගයට අවතීර්ණ කර ගැනීමට නොව කුලී ගමනක් යෑමට නොහැකිව ඔවුනට ලීසිං ආයතනවලට ණය වාරික ගෙවීමේ හැකියාවක්ද නොතිබිණි. රටේ මෙවන් ව්‍යසනයක් පැවැතෙද්දී ඇතැම් ලීසිං ආයතන සීසර්ලා යොදාගෙන මැර බලයෙන්, චණ්ඩිකමින් වාරික නොගෙවීමට නොහැකිව අසරණ වූ මෙවන් පුද්ගලයන්ගේ වාහන සීස් කිරීමටද කටයුතු කෙරිණි.
කෙසේ වෙතත් මේ තත්ත්වය තේරුම් ගත් රජය මෙම සමය තුළ ලීසිං වාරික අයකර ගැනීම සම්බන්ධයෙන් පනවන නීති ලිහිල් කිරීමටද අවධානය යොමු කර තිබිණි.
මෙවන් තත්ත්වයක් හමුවේ ලීසිං සමාගමක් විසින් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් ත්‍රිරෝද රථයක් ණය වාරික නොගෙවීම මත රැගෙන යෑමත් සමඟ ඇති වූ ගැටුමක් මත ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාටද සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිණි. ඉකුත් 2020 වසරේ ජුනි මස 10 වැනි දින නුගේගොඩ, මිරිහාන ප්‍රදේයේ මොහු ඝාතනයට ලක්වූයේ ලීසිං මාෆියාවට එරෙහිව නැඟූ ප්‍රබල විවේචනද සමඟිනි.
ලීසිං සමාගමක පිරිසක් විසින් අමානුෂික ලෙස කළ පහරදීමක් නිසා අහිමි වූ මිනිස් ජීවිතයක් සමඟ ලීසිං සමාගම්වල හිතුවක්කාර නීති විරෝධී ක්‍රියාකලාපයන්ට එරෙහිව රට පුරා ජනමතයක් ගොඩනැඟුණු අතර ඒ සමඟම වාහන අත්පත් කර ගැනීමේ මෙම ක්‍රියාවලියේ වෙනසක් වාරික ගෙවීමේ මත වාහන ලබාගත් හිමිකරුවන්ට අවශ්‍ය විණි.
“පසුගිය කෙරෝනා වසංගතය නිසා අපිට ත්‍රීවීලර් රස්සාවෙන් කිසිම ආදායමක් ලැබුණේ නැහැ. එහෙම තියෙද්දී තමයි වාරික ඇරියස් වෙලා කියලා මගේ ත්‍රීවීලර් එක සීස් කළේ.”
“ආදායමක් නැහැ. රටම වහලා දුවන්න බැහැ කියලා මමයි නෝනයි ලීසින් කොම්පැනියට අපේ දුක කිව්වා. හිඟ වාරික ගෙවන්න රජයෙන් සහනාධාරයක් දීලා තියෙනවා නේද කියලත් ඇහුවා. ඒත් කොම්පැනිය කිව්වේ හිඟ වාරික ගෙවලා වාහනේ අරන් යන්න කියලයි. මගේ මාසික වාරිකය රුපියල් 10,400යි. මාස තුනේ වාරික මුදලට වාහනය සීස් කරන්න තවත් රුපියල් 4,700ක් එකතු කරලා මුළු මුදල තිස්පන් දහස් හත්සිය ගාණක් ගෙවන්න කිව්වා. අපිට ගෙවන්න විධියක් නැහැ කිව්වම ඒ අය මාවයි නෝනවයි එළවගත්තා. පස්සේ මම මේක සුනිල් අයියාට කතා කරලා කිව්වා.
පහුවදා මමයි සුනිල් අයියයි ලීසිං කොම්පැනියට ගිහින් ඒකේ මහත්තුරු හම්බ වුණා. සුනිල් අයියා කිව්වා, ඒත් සංගමයේ සභාපති ආණ්ඩුව මාස හයක සහනයක් දීලා තියෙද්දී වාහනය සීස් කළේ ඇයි. එහෙම බලපෑම් කරන එක සාධාරණ නැහැනේ කියලා. ඒත් එයාලා ඒක පිළිගත්තේ නැහැ.
පස්සේ සුනිල් අයියා රජයේ නිලධාරියකුට කතා කළාම ඒ මහත්තයා කොම්පැනියට කිව්වා වාහනේ වෙන ඇරියස් නැත්නම් වාහනය අපිට භාර දෙන්න කියලා. කොම්පැනිය ඒකට කැමැති වුණේ නැහැ.
පස්සේ අපි නැවත සංගමයේ ලේකම් එක්කගෙන ඇඹුල්දෙණිය පාරේ තියෙන හෑන්ස් ආයතනයට ගියා. එතනදීත් අපිට වාහනය දුන්නෙ නැහැ. පස්සේ අපි එළියට ආවා. ඒත් එක්කම කට්ටියක් අපේ පිටිපස්සේ ඇවිත් අපිට පන්න පන්න පහරදුන්නා. සුනිල් අයියව ඇදලා අරගෙන ගැහැව්වා. පුද්ගලයෝ අට දෙනෙක් විතර වටවෙලා සුනිල් අයියට පොලුවලින් ගැහැව්වා. එතකොට සුනිල් අයියා බිම වැටුණා. ඒ වෙලාවේ ඒ කට්ටිය එයාව උස්සලා ෆිනෑන්ස් කොම්පැනියේ ඉස්සරහ ගේට්ටුවේ ගැහැව්වා. සුනිල් අයියගේ ඔළුව කොන්ක්‍රීට් බිමේ වැදුණා. ඊට පස්සෙත් වටකරගෙන සුනිල් අයියට ගැහැව්වා. කොස්සකින් ගැහැව්වා. පයින් පෑගුවා. ඕකා ඉවරයක් කරපන් කිය කියා තමයි ගැහැව්වේ”
සිද්ධිය ඇසින් දුටුවකු පවසන්නට විය. කෙසේ වෙතත් බිම වැටී බරපතළ ලෙස තුවාල ලත් සුනිල් ජයවර්ධන පොලිස් හදිසි ඇමැතුම් අංශයේ නිලධාරීන් විසින් රෝහලට රැගෙන ගිය අතර දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු එදින රාත්‍රියේ රෝහල තුළම ජීවිතක්ෂයට පත්විය.
53 හැවිරිදි සුනිල් ජයවර්ධනගේ වියෝවත් සමඟ දරුවන් තිදෙනකුගේ පැහැබර අනාගතයද ආදරණීය බිරියගේ අවිහිංසක සිතුම් පැතුම් ගිලිහී යන්න විණ.
දෙනෝදාහක් ඉදිරියේ මැරයන් විසින් සිදුකළ මෙම අමානුෂික ඝාතනයත් සමඟ රටපුරා මැර සීසර්ලාගේ ක්‍රියාකලාපය පිළිබඳ මහත් කතාබහක් ඇතිවිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වූ අතර සුනිල් ඝාතනයට සැකපිට මූල්‍ය ආයතනයේ කළමනාකරු සහ සුනිල්ට පහරදුන් පුද්ගලයන් අටදෙනාම මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.
මෙම ඝාතනයක් සමඟ මෙරට රජයේ සහ පෞද්ගලික බැංකුවල ක්‍රියාකාරිත්වය මෙන්ම මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන පිළිබඳ දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය පියවර ගැනිණි. එමෙන්ම ණය වාරික නොගෙවූ වාහන හිමියන්ට සහන කාලයක්ද රජයෙන් ලබා දුන් අතර සීසර්ලාට මෙලෙස මැර බලය යොදා වාහන ලීසිං කිරීම නතර කිරීමටද කටයුතු කරන ලදී. එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේද අවධානය යොමු විණි.
ලීසිං පහසුකම් සම්බන්ධයෙන් ඇති රෙගුලාසිවලට අනුව නිසිලෙස වාරික නොගෙවන පුද්ගලයන්ගේ වාහන ආපසු පවරා ගැනීමේ නීතිමය ක්‍රමවේදයක් පවතී. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට සහ ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කරමින් මෙවැනි අවස්ථාවකදී පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය මෙසේ දැනුවත් කර තිබිණි.
ඒ අනුව නෛතික ප්‍රතිපාදනයන්ට අමතරව අදාළ වාහනය හිමිකරු සන්තකයෙන් ලබා ගැනීමට බදු දීමනාකරුවන්ට හැකිවන්නේ එම වාහනය සන්තකයේ ඇති තැනැත්තාගේ විරෝධයක් නැත්නම් පමණක් විය යුතු බව පොලිස්පතිවරයා පවසා ඇත. ඒ සඳහා වාහනය අත්පත් කර ගැනීමට පෙර බදු දීමනාකරු විසින් ඒ බව වාහනය අයත් ප්‍රදේශයේ පොලිසියේ ස්ථාන භාර නිලධාරියාට දැනුම් දිය යුතු බවද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.
එලෙස දැනුම් දීමත් සමඟ ඒ බව තොරතුරු සටහන් පොතේ එම ප්‍රකාශය සටහන් කර ගැනීම කළ යුතු බවත් එම ප්‍රකාශය ලිඛිතව ලබා දෙන්නේ නම් එය තොරතුරුපොතේ ඇලවීමට, ස්ථානාධිපතිවරයා කටයුතු කළ යුතු බවද දන්වා ඇත. පසුව ස්ථානාධිපතිවරයාගේ නියෝග මත නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරියකු කැඳවාගොස් වාරික ගෙවීම නොකළ වාහනය අත්පත් කර ගත හැකිය.
යම් හෙයකින් සාමකාමී පසුබිමක් තුළ වාහනය අත්පත් කර ගැනීමට නොහැකි නම් දිස්ත්‍රික් උසාවිය හරහා අධිකරණ නියෝගයක් ලබාගෙන එය සිදුකළ හැකි බවද පොලිස්පතිවරයා දන්වා තිබේ.
එහෙත් මෙම ඇතැම් ලීසිං ආයතනවලට මෙන්ම නීතිවිරෝධී මූල්‍ය ආයතනවලට මෙම නීති ප්‍රකාර අදාළ ඇත. ඒ නිසා ඔවුහු ඉතා අසාධාරණ ලෙස ණය වාරික නොගෙවන වාහන අත්පත් කර ගැනීම සිදුකරති. ඒ සමහරක් පොලිස් නිලධාරීන්ගේ මෙන්ම මැරයන්ගේද සහාය ලබාගනිමිනි. ඒ සඳහාම එම ආයතනවලට බැළමෙහෙවරකම් කිරීමේ නියුතු මැරයන් චණ්ඩින් වෙති. ඔවුහු සීසර්ලා යොදාගනිමින් මෙම වාහන අත්පත් කරගනිති. මෙම සීසර්ලා සඳහා මූල්‍ය සමාගම් විශාල මුදලක් ගෙවති. ඒ මෙම ක්‍රියාව තුළ ජීවිත අවදානමක්ද ඇති හෙයිනි.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙවන් ක්‍රියාවල යෙදෙන බොහෝ ආයතන ලියාපදිංචි ආයතන නොවන බවය. බැංකුවලට සමාන ණය වාරික ගෙවන්නා සේම මෙම මූල්‍ය සමාගම්වලටද ණය වාරික ගෙවිය යුතු අතර එම සමාගම් ආදායම් ලබන්නේ එම වාරික ගිනි පොලියට ලබාදීම තුළිනි.
සීසර්ලාගේ මැර ක්‍රියාවන් පැනවූ නීති රීති සමඟ වාහන ලීසිං කිරීමේ නිරත සීසර්ලාට රැකියාව අහිමි වූ අතර සීසර්ලා ගැන ජනතාව තුළ ඇති වූයේ දැඩි කලකිරීමක් සහ වෛරයකි.
සීසර්වරුන් වෙනුවෙන් සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය බිහිවන්නේ එවන් පසුබිමක් තුළිනි. මෙම සංගමය නීත්‍යනුකූලව ලියාපදිංචි පිළිගත් සංගමයක් බවට පත්වෙන අතර ඒ තුළ විනය රාමුවක් සහ නීතිමය රාමුවක් ඇති බව එම සංගමය පවසයි.
නීති විරෝධී, විනය විරෝධී ක්‍රියාවන්හි නිරත සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන් හට රැකියාව කිරීම සඳහා මෙම සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාවක් නැති අතර එවන් අයට සංගමයේ හැඳුනුම්පතද ලබානොදෙන බව සංගමයේ සභාපති සංජීව කුමාර මහතා කියයි. එම වාහන අත්පත් කරන නියෝජිතවරු (සීසර්වරුන්ට සාමාජිකත්වය ලබාගැනීමට පෙර ඔවුන්ගේ ග්‍රාම සේවා සහතිකය සහ පොලිස් සහතිකයද සංගමයට ලබාදිය යුතු වේ.)
එමෙන්ම එහි ලේකම් ප්‍රියන්ත මංජු ශ්‍රී ලියනගේ මහතා පවසන්නේ තම සාමාජිකයන්ගේ රැකියාව සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවය.
“අපි මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවෙලා ලිඛිතවත් දැනුම් දුන්නා අපේ සංගමයේ නියෝජිතයන් වාහන අත්පත් කරගැනීමේ කාර්යයන් සඳහා පොලිස් ස්ථානයකට පැමිණිලි කරන්නට පැමිණි විටදී තම සංගමයේ හැඳුනුම්පත තහවුරු කරගෙන පැමිණිල්ල භාරගන්න කියලයි. වාහන අත්පත් කරගැනීම ගැන පොලිස්පතිවරයාත් චක්‍රලේඛයක් පොලිසිවලට යවලත් තියෙන්නේ.”
එමෙන්ම දිවයින පුරා පිහිටි මූල්‍ය ආයතනවලට වාහන අත්පත් කර ගැනීම සිදුකිරීමේදී එල්ල වන නොයෙකුත් චෝදනා නිසා තම සංගමයේ හැඳුනුම්පත් හිමි නියෝජිතයන් වෙත එම කාර්යය භාරදෙන ලෙස දැනුවත් කර තිබිණි.
කෙසේවෙතත් මෙවන් නීත්‍යනුකූල ලියාපදිංචි නියෝජිතයන් (සීසර්වරුන්) සිටින සංගම් තිබියදීත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතත් ඉකුත් දින වත්තේගම පොලිස් වසමේදී සීසර්වරුන්ගේ පහරකෑමට ලක්වූ තවත් පුද්ගලයකු ඝාතනයට ලක්විණි.
මෙසේ ඝාතනයට ලක්වූයේ වත්තේගම, මීගම්මන වත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නමැති 35 හැවිරිදි අවිවාහකයෙකි. බ්ලොක් ගල් වැඩපොළක් පවත්වාගෙන ගිය මොහු ඉකුත් 18 වැනිදා රාත්‍රියේ සිය නිවෙසේ නිදා සිටියදී අලුයම නිවෙසට පැමිණි පිරිසක් නිවෙස ඉදිරිපිට නතර කර තිබූ ටිපර් රථය පැහැරගෙන යන්නට වූහ. තම ලොරිය පණගැන්වෙන හඬ ඇසුණු ඔහු වහා පාරට දිව පැමිණි මොහොතේදී ඔහුට දක්නට ලැබී ඇත්තේ තම ටිපර් රථය නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යන ආකාරයයි. ඒ සමඟ කෑකෝ ගසමින් ධාවනය වන ටිපර් රථයේ එල්ලුණු ඔහු මීටර් 350ක් පමණ දුරයෑමෙන් පසු මාර්ගයේම ඇද වැටී ඇත්තේ පහරකෑමෙන් අනතුරුව බව වාර්තා වී තිබේ.
පසුව වැටී සිටි ඔහු ඥාතීන් විසින් රෝහල්ගත කර ඇතත් ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර ටිපර් රථය පැමිණි මැරයන් පැහැරගෙන ගොස් තිබිණි.
පසුව මහනුවර කොට්ඨාස (1) ජේයෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති රණවීර මහතාගේ උපදෙස් මත වත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අරඹන ලදී.
මේ සම්බන්ධයෙන් මියගිය ජාලිය කුමාරගේ පියා පවසන්නේ මෙවැන්නකි.
“ඔය සිද්ධියට කලින් අපි ෆිනෑන්ස් කොම්පැනියට ගිහිල්ලා කතා කළා ෆිනෑන්ස් එක ක්ලියර් කරගන්න කියලා. ඉන්පස්සේ ෆිනෑන්ස් කොම්පැනිය ලොකු මුදලක් ඉල්ලා හිටියා. ඒත් පුතා කිව්වා එච්චර සල්ලියක් නැහැ ඊට අඩු ගාණක් දෙන්නම් කියලා. ඒත් ෆිනෑන්ස් එකේ මහත්තුරු කැමැති වුණේ නැහැ. එතකොට ඒ අය කියලා තියෙනවා අපි වාහනේ අනිවාර්යයෙන්ම ගන්නවා කියලා. එතකොට පුතාත් කියලා තියෙනවා පුළුවන් නම් ගන්න කියලා. ඊට පස්සේ ඒ අය කියලා තිබුණා ගිය සැරේ වගේ නෙවේ මේ සැරේ ගන්නේ කියලා. ගිය සැරේ නම් ගහලා ගත්තේ මේ සැරේ නම් එකෙක් යට කරලා හරි වාහනේ ගන්නවා කියලා.”
“ඉන්පස්සේ තමයි සීසර්ලා එවලා වාහනේ අරගෙන තිබුණේ.”
“එදා උදේ පාන්දර පුතා නැඟිටලා තාත්තේ තාත්තේ ෆිනෑන්ස් එකෙන් වාහනේ උස්සගෙන යන්න හදනවා කියලා කෑගැහැව්වා. මම දුවගෙන ඇවිත් බලද්දී වාහනයයි පුතයි පේන්න හිටියේ නැහැ. පස්සේ මං පාර දිගේ ගිහින් බලද්දී පුතා මඟ වැටිලා හිටියා. සිහිය තිබුණේ නැහැ. විගහට පුතාව ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒත් වැඩක් වුණේ නැහැ. දරුවා අපට නැති වුණා.”
පුතුගේ වියෝව දරාගත නොහැකිව හඬා වැලපෙන ජාලියගේ මවුපියන් සහ ඔහුගේ මිතුරන් පවසා සිටින්නේ සීසර්ලාගේ ගොදුරක් වූ ජාලියගේ අකල් වියෝවට විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔහුට සාධාරණයක් කළ යුතු බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලිසිය ජාලියගේ ලොරිය පැහැර ගැනීම සඳහා පුද්ගලයන් සිවුදෙනකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන් පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර සීසර්වරුන්ට ලොරිය ලබාගැනීමට උපදෙස් දී තිබූ අදාළ මහනුවර මූල්‍ය සමාගමේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන්ම පැහැරගෙන ගිය ටිපර් රථයද මහනුවර ආසන්න ප්‍රදේශයක තිබී සොයා ගැනුණු අතර සීසර්ලා ලොරිය පැහැර ගැනීම සඳහා පැමිණි වාහනය සොයා විමර්ශන සිදුකෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා 21දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ජේ.එල්.ටී. ප්‍රනාන්දු මහතා නියෝග කරන ලද අතර මහනුවර සමාගමේ කළමනාකරු දිනයක් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට ඉඩ ලබාදී තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තීය සංගමයේ සභාපතිවරයා පවසන්නේ මෙම ටිපර් රථය අත්පත් කර ගැනීමට ගිය පිරිස අතර සිටි කිසිවකු සිය සංගමයේ නියෝජිතයන් (සීසර්වරුන්) නොවන බවය.
“අපි අපේ නියෝජිතයන්ට කියලා තියෙන්නේ මෙවන් ක්‍රියාවක නියැළෙනවා නම් හැඳුනුම්පත පෙන්නලා පොලිසියේ පැමිණිල්ලක් දාලා නිලධාරීන්ගේ සහයෝගය ඇතිව උදේ 6ත් හවස 6ත් ඇතුළත ඒ කාර්යය සිදුකළ යුතු බවයි. එහෙත් මේ සිද්ධිය වෙලා තියෙන්නේ අලුයම 2.10ට. ඒ වගේම මේ සිද්ධියට අපේ කිසිදු නියෝජිතයකු සම්බන්ධ නැහැ.”
සභාපති සංජීව කුමාර මහතා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමේදී අනාවරණය වූයේ වාහන අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිද්ධියට දින දෙකකට පෙර පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇති බවය. එහෙත් වෘත්තීය සංගමයේ සභාපතිවරයා පවසන්නේ මෙවන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී ඔහු තම සංගමයේ සාමාජිකයකු බව හඳුනා ගැනීම සඳහා සංගමයේ හැඳුනුම්පත පිරික්සන ලෙස පොලිසියට දන්වා තිබුණත් පොලිසිය එවන් ක්‍රියාමාර්ගයක් නොගැනීම මෙවන් තත්ත්වයක් ඇතිවීමට මූලික හේතුවක් වී ඇති බවය.
කෙතෙක් නීතිමය රාමුවක් තිබුණද නීත්‍යනුකූල සීසර්වරු වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සංගම් තිබුණද ඇතැම් සීසර්වරුන්ගේ අමානුෂික ක්‍රියාකලාප නිසා තවත් තරුණ ජීවිතයක් අකාලයේ මරු තුරුලට ගොස් අවසානය.
එහෙත් මෙවන් සිදුවීමක් ඉදිරියේදී සිදුනොවන්නට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුත්තේ කල්බදු සමාගම් මිනිස් ජීවිතවලට වඩා ණය වාරික නොගෙවූ වාහනවල වටිනාකමට මුල් තැනක් ලබාදෙන නිසාය.
එමෙන්ම මියගිය ජාලියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකොට ඊට වගකිව යුත්තන්ට දැඩි දඬුවමක් දෙමින් තම පුතුට සාධාරණයක් ඉටුකර දෙන ලෙසද ඔහුගේ මවුපියෝ හැඬූ කඳුළින් පවසන්නට වූහ.
මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් මහතාගේ අධීක්ෂණය මත මහනුවර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ධ් කීර්ති රණවීර මහතාගේ උපදෙස් මත වත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
කීර්ති මෙන්ඩිස්
පින්තූර – තෙල්දෙණිය, කේ. නිශ්ශංක
උපුටා ගැනීම - මව්බිම පුවත්පත