ජුනි 12 වැනි දින අහමදාබාද් ගුවන්තොටුපොළෙන් ලන්ඩන් බලා පියාසර කළ එයාර් ඉන්දියා AI-171 ගුවන් යානය, අහසට නැඟී තත්පර 32ක් වැනි කෙටි කාලයක් තුළදී මුළු ලොවම කම්පනයට පත් කරමින් කඩා වැටුණා. ජීවිත ගණනක් එදා එක් නිමේෂයකින් සියල්ලන්ටම අහිමි වී ගියා.
බෝයිං 787-8 (Dreamliner) වර්ගයේ මෙම යානය, අහමදාබාද් නුවර බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර සංකීර්ණය මත කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 241 දෙනෙකු සහ බිම සිටි පුද්ගලයින් 19 දෙනෙකු ඇතුළුව ජීවිත 260ක් අහිමි වුණා.
එම යානයේ ගමන් ගත් වෛද්‍ය ප්‍රතීක් ජෝෂි, ඔහුගේ බිරිඳ වෛද්‍ය කෝමි ව්‍යාස් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ඇතුළු එම පවුලම මෙම ඛේදවාචකයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා. ගුවන්ගත වීමට මොහොතකට පෙර ගුවන් යානය තුළදී සිය පවුලේ අය සමඟ ලබාගත් සිනහමුසු සෙල්ෆි ඡායාරූපය අදටත් ලොවම කම්පාවට පත් කරන දසුනක් වන බව නිසැකයි.
සිදුවීම පිළිබඳ නිකුත් වූ මූලික වාර්තාවලට අනුව, ගුවන් යානය අඩි 625ක උසකට ළඟා වෙත්ම සිදුවූ අභිරහස් තත්ත්වයක් අනතුරට මුල් වී තිබුණා.
යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් (Fuel Control Switches) එකිනෙක තත්පරයක පරතරයකින් 'RUN' සිට 'CUTOFF' ස්ථානයට ස්වයංක්‍රීයව හෝ අත්වැරදීමකින් මාරුවී තිබුණා.
කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රයට (CVR) අනුව, එක් නියමුවෙකු අනෙකාගෙන් "ඇයි ඔබ ඉන්ධන සැපයුම නැවැත්වුවේ?" (Why did you cut the fuel?) යැයි විමසන අතර, අනෙක් නියමුවා "මම එය කළේ නැහැ" (I didn't do that) යැයි පිළිතුරු දෙනු සටහන්ව තිබුණා.
කෙසේ හෝ, එන්ජින් දෙකෙහිම බලය හදිසියේ නැතිවීම නිසා යානය පාලනය කරගත නොහැකිව බිමට කඩා වැටුණා. අදටත් නෙතට කඳුළක් එක්කරන මේ කතාව තවමත් ලොව පුරා බොහෝදෙනාගේ හදවත්වල සටහන් වුණු පුවතක් වුණා.