එක දවසක් රෑ අපි ගෝල්පේස් අරගල භූමියේ චිත්‍රාගාරය ළඟ සුජිත් අයියලා එක්ක කතා කර කර හිටියා. එතකොට වෙලාව පාන්දර එකට දෙකට වගේ ඇතී. එක පාරටම කූඩාරමක් ඇතුළෙන් පුංචි පැටියෙක් අඬනවා ඇහුණා. ඒත් මට අදහසක් තිබුණේ නෑ ඒ කොහෙන් ආව එකක්ද කියල.
චිත්‍රාගාරයේ නිදාගන හිටපු අයියා කෙනෙක් නැගිටල ටෙන්ට් එකක් පෙන්නලා මට කිව්වා "අනේ නංගී, පොඩ්ඩක් බලන්න අර ටෙන්ට් එක. චූටි බබා නැගිටල" කියල. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඇතුළේ කවුද ඉන්නේ, ඒ කාගෙ බබෙක්ද කියලවත්. ඒත් මම ඒ වෙලාවෙම ටෙන්ට් එකේ සිප් එක ඇරල ඇතුළු වුණේ එතන හිටපු එකම ගෑණු ළමයා මම නිසා.
ඒ වෙලේ මම දැක්කා දූල තුන්දෙනෙක් එකට නිදාගෙන ඉන්නවා සහ චූටිම පැටියා හීනෙන් ඇහැරලා අඬනවා. කූඩාරම ඇතුළේ අඳුරු නිසා මට ඒ දූල අඳුරගන්න බැරිවුණා. ඒ අස්සේ ලොකු දූ පොඩි නංගීට තට්ටු දානවා නින්ද යන්න. ඒත් ලොකු දූත් හොඳටම නිදිමතේ, තෙහෙට්ටුවෙන්. මමත් චූටි දූ නළවන්න පොඩි තට්ටුවක් දැම්මා. ඒත් එයා නැළවුණේම නෑ. එයා ටෙන්ට් එකෙ සිප් ඇරුණු පැත්තට ඇඟිල්ල දික් කර කර අඬනවා. මට තේරුණා එයා එළියට යන්න ඕනි කියනවා කියල. මම චූටි දූත් වඩාගෙන එළියට ආවා. ඒ ආවම එළියේ හිටපු අයියලා හැමෝම එයා මගේ අතේම ඉද්දී එයාව නළවන්න ගොඩක් උත්සාහ කළා. ඒත් එයාගෙ ඇඬිල්ල පොඩ්ඩක්වත් නතර වුණේ නෑ. එයා හොයන්නේ එයාගෙ අම්මා හරි තාත්තා හරි.
"අම්මා එයි පැටියෝ" කිය කිය මම එයා වඩාගෙන ඉඳ්දී ඈතින් ජෙහාන් අයියා ආවා. "අන්න තාත්තා එනවා" කියල පෙන්නද්දී එයාගෙ ඇඬිල්ල පොඩ්ඩක් අඩු වුණා. ඊටත් ඈතින් ගයා අක්කත් ආවා." අන්න අම්මත් එනවා" කියල එතන හිටපු අයිය කෙනෙක් කිව්වම ඇඬිල්ල තව පොඩ්ඩක් අඩුවුණා. ජෙහාන් අයියා ඇවිත් දූ මගේ අතින් ගත්ත තප්පරයෙන් ඇඬිල්ල ඉවරයි.
අද ජෙහාන් අයියා Jehan Appuhami ඇතුළු අපේ අරගලයේ පිරිසක් ජූනි පළවෙනිදා දක්වා රිමාඩ් කෙරුණා. ඒක දැනගත්ත වෙලේම මට මතක් වුණේ ජෙහාන් අයියගෙ මේ චූටිම දූ.
ඒ දරුවන් අද රෑ හීනෙන් අවදි වෙලා ඇඬුවොත් එයාල ළඟ ඉන්නෙ එයාලගෙ අම්මා විතරයි. දන්න විදියට ඇකා අයියටත් දරුවෙක් ඉන්නවා. මමත් දුවෙක්. මට මතකයි පොඩි කාලෙ මම නිදාගත්තේ තාත්තාගෙ කරේ. හීනෙන් බය වුණාම නිදාගත්තේ තාත්තා ළඟ. තාත්තා ළඟ එන දාඩිය සුවඳ එක්ක ඒ දැනෙන ආරක්ෂාව කොයි තරම්ද.. අද ජෙහාන් අයියගෙ පුංචි දූල තුන්දෙනා හීනෙන් බය වෙලා ඇහැරුණොත්? මට මේක ඉවර කරන්න තේරෙන්නේ නෑ. ගෝඨා කරුණාකරලා ගෙදර යන්න අපිට තවත් වද නොදී.
තාත්තා එනකම් පුංචි ලිලීට ලලීගෙන් මේ පියාඹන හාදුව
අරගලයට ජය