රොෂාන් ක්ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?
දැන් අවුරුදු විසිදෙකක්.
එහි ඒ අවුරුදු විසිදෙක දිහා නැවත හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?
නැවත හැරිලා බලද්දි මනුස්සයෙක් විදිහට මම ඇවිත් තියෙන ගමන හරි අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක ගමනෙන් මම බලාපොරොත්තු වුණු හුඟක් දේවල් මම අත්පත් කරගෙන තියෙනවා. නමුත් තවදුරටත් මේ රටේ කලාකාරයෝ ලෙස කලාව කෙරෙහි විශ්වාසය දිගටම තියාගන්න ඕනේද කියලා ගැටළුවක් දැන් මට තියෙනවා.
ඒකට හේතුව?
කලාකාරයෝ අයිති රජයට නෙමෙයි කියලා හිතනකොට මේ කලාකාරයන්ගේ ගැටළු කවුද තේරුම් ගන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. කලාකරුවන්ට ගොඩනැඟෙන්න නොදෙන තත්ත්වය සමනය වෙලා කලාවෙන් ගොඩනැඟෙන්න පුළුවන් වෘත්තිමය තලය හදාගන්නේ කවදාද කියලා ගැටළුවක් තියෙනවා. අපි ඒ කාලේ කලාවට ආවේ මේක හරි සුන්දර මාර තැනක් කියලා හිතාගෙන. කලාවට පය ගැහුවාට පස්සෙයි තේරුණේ මේකෙ තියෙන ගැටළු සහ මිනිහෙක්ට ගොඩනැඟෙන්න බැරි තත්ත්වය. දැන් තියෙන තත්වෙත් එක්ක කලාකාරයන්ට පොල් කඩයක් හරි දාගෙන ජීවත් වෙන තත්වයක් උදා වෙලා තියෙනවා. කලාව කරන මිනිස්සු එහෙම කරන්න ඕනේ නැහැ. කලාව ගැන හිතන්න, කලාවේ නිරත වෙන්න කාලය සහ නිදහස ඕනේ. එහෙම නිදහසක් දැන් අපේ වටපිටාවේ නැහැ.
දැන් වෘත්තිමය කලාකාරයෝ නැද්ද?
ඉන්නවා. මමත් වෘත්තියමය කලාකාරයෙක් තමයි. ඒත් හුඟක් කලාකාරයෝ වෘත්තිමය කලාකාරයෝ නෙමෙයි. තමන් එක දෙයකට මහන්සි වෙලා වැඩ කරනවා නම්, ඒ දෙයින් මහන්සියේ තරමට ප්‍රතිලාභයක් නොලැබෙනවා නම් ඒකට වෘත්තියක් කියන කියන්න බැහැනේ. වෘත්තිමය කලාකාරිය කියන්න පුළුවන් කලාවෙන් ලාභ උපයනවා නම්. නමුත් ලංකාවේ ඒකෙ එහෙම වෙන්නේ නැහැ.
කලාව මෙතැනට එන්න එය රසවිඳින ප්‍රේක්ෂකයෝ හේතුවක් නෙමෙයිද?
කිසිසේත්ම නැහැ. ප්‍රේක්ෂකයන්ට මම කිසි වෙලාවක ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. හොඳ රසවින්දනයකින් යුතු ප්‍රේක්ෂකයෝ බිහිකිරීම කලාකරුවා සතු වගකීමක්. කලාකරුවා පෝෂණය කිරීම රජය සතු වගකීමක්. ටෙලිවිෂනයේ පෙන්වන දේ තමයි මිනිස්සු ස්වීච් එක ඔන් කරලා බලන්නෙ. රජය කලාවට මැදිහත් වෙන්න ඕනේ කියන තැන මම ඉන්නේ. මේකට මිනිස්සුන්ට බනින්න බැහැ. හොඳ චිත්‍රපටයක් ආවොත් තවමත් පෙරලගෙන ගිහින් මිනිස්සු එක බලනවා. බොක්ස් ඔෆිස් යන චිත්‍රපට ලංකාවේ තවමත් හැදෙනවා.
ඒ කියන්නේ කලාවේ පරිහානියට හේතුව මොකක්ද?
දැන් රස ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් එන්නේ කලාතුරකින්. කලාකරුවන් පවා දැන් විෂය හදාරලා නෙමෙයි මෙතනට එන්නේ එන්නේ. ඒ නිසා මේක තවත් අච්චාරුවක් වෙලා තියෙන්නේ. තව අවුරුදු දහයකින් පහළොවකින් මේක අච්චාරුවක් වෙලා පරිහානියට පත් වෙලා යනවා. ඒක නොවෙන්න වැඩ කරන කරන්න කියන එකයි මගේ යෝජනාව.
රොෂාන් චරිතයක් තෝරාගනිද්දි බලන විශේෂතා මොනවාද?
ඉස්සෙල්ලාම මම චරිතයක් තෝර ගනිද්දි බලනා ගනිද්දී බලන්නේ ගෙදර ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවද එහෙම නැති වුණොත් මට ලැබෙන ළඟම එක මම තෝරගන්නවා. මම රඟපාපු හැම චරිතයක්ම මාරයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒ චරිත බහුතරයක් හොඳ ඒවා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැති වුණු තැන්වලදී ප්‍රතිපත්ති පවාදීම් කරන්න වෙනවා. මේ තත්ත්වෙත් එක්ක චරිත තෝරාගන්න බැහැ ඇත්තටම. නැත්තන් ඉතින් අධ්‍යක්ෂණය, පිටපත, කැමරාකරණය, නළු නිළියන් ආදී හැම දෙයක්ම චරිතයක් තෝරා ගනිද්දී බලන්න ඕනේ. නමුත් ඒ කිසිවක් නොබලා නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් වෙනවා. හොඳ වෘත්තිමය තලයක් තිබ්බොත් මේ හැමදේම බලන්න පුළුවන්.
රොෂාන් සිනමා නිර්මාණවලට වඩා වැඩිපුර ඉන්න ටෙලිනාට්‍යවල. රොෂාන් සිනමා අතහැරලාද?
මම සිනමාව අතහැරලා නැහැ. මාව සිනමාවට ඇරලා කියලා මම හිතන්නේ. මට චිත්‍රපටවලින් කතා කරනවා. ඒ සමහර චරිතවලට මම ආස නැහැ. මම රඟපාපු සමහර ඒවා බලන් ආස නැහැ. මට චිත්‍රපටවලට ආරාධනා කරනවා හරිම අඩුයි. චිත්‍රපටවල රඟපාන ප්‍රධාන නළු නිළුයෝ පපුව ඉස්සරහට දාගෙන අපි සිනමාවේ කිව්වට මම දන්නවා කලාකාරයෙක් විදිහට මම එයාලට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා. ටෙලිනාට්‍යවලින් මිනිසුන්ගේ සංවේදී තැන්වලට මම කතා කරලා තියෙනවා ඒ හුඟක් නළු නිළියන්ට වඩා. සිනමාවේ නැතුව ටෙලිනාට්‍යවල විතරක් ආරාධනා කියලා මට කිසිම පසුතැවීමක් නැහැ. සිනමා නිර්මාණවල විතරක් රඟපානවා කියන නළු නිළියන්ගේ නිර්මාණ දැක්කම පේනවා ඒ වැඩ මෙලෝ රහක් නෑ කියලා. සිනමාවද ටෙලිනාට්‍යයද වේදිකාවද කියලා බෙදන්න බැහැ. මේ සමස්තය කලාව. සිනමා අධ්‍යක්ෂවරුන්ට මාව තේරුණු දවසකට මට රඟපාන්න පුළුවන් කියලා තේරුණ දවසකට ඇවිත් මට කතා කරයි. එදාට ගිහින් මම රඟපානවා.
චාපගේ කසුන් තවමත් ඉන්නවාද?
ඔහු තවමත් ඉන්නවා ඒ ආදරේ මට තවමත් ලැබෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයින්ගෙන් ආදරය පිරෙන්න ලැබෙන කලාකාරයෙක් මම. කලාකාරයෙක් විදිහට ප්‍රේක්ෂකයෝ පුදුම විදිහට මට ආදරෙයි. එයාලගේ මනුස්සකම් සහ උදවූ උපකාර මට පුදුම විදිහට ලැබෙනවා. කොච්චර දේවල් කිව්වත් අපිට ක්ෂේත්‍රය දාලා යන්නත් බැහැ. මේ රට දාලා යන්නත් බැහැ. මේ කට්ටට දැන් අපි හුරුවෙලා. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ අපිට ඇහුම්කන් දීලා අපිත් එක්ක ඉන්න කියලා.
පෞද්ගලික විස්තරත් කියමු?
මට දරුවෝ තුන් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ලොකු පුතා නේතෘ කරුණාචන්ද්‍ර. එයා මහානාම විද්‍යාලයේ ඉගෙන ගන්නවා. දෙවැනි දුව කේතකී කරුණාචන්ද්‍ර. එයා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ඉගෙන ගන්නවා. තුන්වෙනියා තීරු කරුණාචන්ද්‍ර. එයාට තාම අවුරුදු එකහමාරයි.
රොෂාන් පෞද්ගලිකත්වය වැඩිය මාධ්‍යයට නිරාවරණය කරන්නේ නැහැ?
අපෝ නැහැ. මම ඕන වෙලාවක මගේ පවුලේ අයව හඳුන්වා දෙනවා. එකම හේතුව ඒ අයට වද දෙන්න කැමති නැහැ. ඒ අයත් එහෙම එන්න කැමැත්තක් නැහැ.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මම නිෂ්පාදකවරයෙක් හොය හොයා යනවා හොඳ නිර්මාණයක් කරන්න. හොඳ නිර්මාණයක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කැමතියි වැදගත් නිර්මාණ ටිකක් කරන්න. නමුත් මට ඒක තනියම කරන්න බැහැ. හොඳ නිෂ්පාදකවරයෙක් ඕනේ. විෂය ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් තියෙන කෙනෙක් ඕනේ. දැන් නම් නිෂ්පාදකවරු පස්සේ ගිහිල්ලා මට එපා වෙලා තියෙන්නේ.
රොෂාන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද?
කලාකරුවෙක් වෙන්න මම හීන දැක්කා. දක්ෂ නළුවෙක් වෙන්න හීන දැක්කා අධ්‍යක්ෂවරයෙක් වෙන්න හීන දැක්කා. ඊළඟට මගේ හීනයක් තියෙනවා ඉදිරි පරම්පරාවල් ක්ෂේත්‍රයට එනකොට ක්ෂේත්‍රය වෘත්තිමය තලය හදලා තියන්න.
රොෂාන් රවීන්ද්‍ර වගේ හොඳ නළුවෙක් වෙන්න තරුණ පරම්පරාවක් හීන දකිනවා. ඒ අයට මොකක්ද කියන්න තියෙන්නේ?
හොඳ රංගන ශිල්පියෝ වෙන්න බලාගෙන ඉන්න අයට මම උදවු කරනවා. ඔවුන්‍ට පොළොව හදලා දෙනවා. අපේ ප්‍රවීණයෝ අපිට කිව්වේ චරිත ගැන හිතන්න එපා ලැබෙන චෙක් එක ගැන හිතලා රඟපාන්න කියලා. මගේ ඊළඟ පරම්පරාවට කවදාවත් ඒක කියන්නේ නැහැ. මම කියන්නේ හොඳ චරිතයක් තෝරගන්න කියලා. ඒත් වෘත්තිමය තලයක් නැති තැනකදි එහෙම තෝරගන්න කියන්නත් බැහැ. මම කලින් කිව්වා වගේ කොහොමහරි ක්ෂේත්‍රය හදන්න ඕනේ කියන්නේ ඊළඟ පරම්පරාවට පයගහලා ඉන්න පුළුවන්, කොන්ද කෙලින් තියාගෙන කලාකරුවෙක් කියන්න පුළුවන් වටපිටාවක් හදන්න තමයි.
නිර්මාණි බණ්ඩාරනායක