එම ප්‍රකාශයේ විශේෂ කරුණු සංක්ෂිප්ත පහතින් දැක්වෙයි.
සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. "එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපිට කියන්නද" කියලා මාව විවේචනය කරනවා.
ඔබ ඉන්නේ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත් රටක් ලෙස එකට එකතු වෙලා මේ අසීරු තත්වයෙන් රට ගොඩනැංවීමේ ක්‍රියාදාමයට එක් වෙන්න
ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳාගත යුතුයි. කඩාවැටීම ආරම්භයේ දී කෙසේ හෝ කඩා වැටීම පාලනය කර ගන්නවා නම් මෙතරම් අසීරු තත්ත්වයක් උදාවන්නේ නැහැ.
තෙල් සංස්ථාව මේ වෙද්දි ඩොලර් මිලියන 700 ක් ණයයි. මේ තත්ත්වය නිසා කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නැහැ.
ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තියෙනවා. හැබැයි ඉන්දියාවටත් දිගින් දිගටම අපිට මෙහෙම ණය දෙන්න බැහැ. ණය ගෙවන ක්‍රමයක් තිබිය යුතුයි. කවුරුත් පිනට සල්ලි දෙන්නේ නැහැ.
අපි ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්චා කිරීමයි. ඔවුන්ගේ සහතිකය නැතුව වෙන එක රටක් වත් අපිට ණය දෙන්නෙ නැහැ. වෙනත් මාර්ග තියෙනවා නම් කරුණා කරලා කියන්න.
IMF එක්ක කිසිම අවස්ථාවක රුසියාව ගැනවත් රුසියානු තෙල් ගැනවත් අපි කතා කරලා නැහැ.
දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම් ඔවුන්ගේ විසඳුම් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන්.
මේ වනවිට IMF නියෝජිතයින් සමඟ ආරම්භක සාකච්ඡා පවත්වා අවසානයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන සමාගම් දෙකක නියෝජිතයින් දැනට ලංකාවට ගෙනවා ගැනීමේ කටයුතුවල නිරත වනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිත කණ්ඩායම ලබන සදුදා ලංකාවට එනවා.
ජුනි මාසයේ අවසාන වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ වැඩ වැඩකටයුතුවලට සමාන්තරව ඉන්දියාව, ජපානය, චීනය යන රටවල් මූලිකත්වයෙන් ණය ආධාර සමුළුවක් සංවිධානය කරන්න සැලසුම් කරනවා.
IMF අනුමැතියත් සමඟ මුදල් ලැබෙතුරු අතරමැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමගත් ඇමෙරිකාව සහ අපට හිතැති වෙනත් රටවල් සහ රාජ නායකයන් සමඟ සාකච්ඡා කරමින් යනවා.
එතැන් සිට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. එය අපනයන ආර්ථිකයක් වියයුතුයි.
ඉදිරි ගමන සැලසුම් කිරීම සඳහා අගෝස්තු මාසේ අන්තර්කාලීන අයවැය අපි ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා.
ලබන කන්නයේදී හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලසුම් සකස් කරගෙන යනවා. සහල් මිල පාලනයට පියවර ගන්නවා.
ශක්තිමත් ආර්ථිකයක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයකට රට බාර දෙන්න. වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට වත් කරවා යවන්න.
ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපෙන් ඩොලර් මිලියන 20 යොදා ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙන තියෙනවා.
ඉන්ධන ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට ටික කාලයක් ගත වේවි. එනිසා අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
පාසල් දරුවන්ට අධ්‍යාපනය සලසා ගත හැකි පරිසරයක් අපි ඉක්මනින් සකසා දෙනවා.
21 වෙනි සංශෝධනය තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා."