කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී සිදුවූ ආසන්නතම කාන්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයෙන් වාර්තා වූ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව ඔහු කළ ඝාතනයන් සම්බන්දයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ සිරුරුවල තිබී සොයාගත් ආගන්තුක ජෛව සාම්පල සැකකරුගෙන් ලබා ගත් ජෛව සාම්පල හා සැසඳෙන බවට කොළඹ ජින්ටෙක් ආයතනය ලබා දුන් වාර්තාවට අනුවයි. පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා නාගම් පාපු නැමති දෙදරු මව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම කහවත්ත කොටකෙතන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසන්නතම ඝාතනයයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි තිදරු පියෙකු වන ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැත්තෙක්.
සැකකරු පසුගිය 13 වැනිදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවුණා.
එම කාලයේදී ඔහුගෙන් ලබාගත් ජෛව සාම්පල කොටස් කොළඹ ජින්ටෙක් ආයතනය වෙත යොමු කිරීමට පියවර ගැනුනු අතර එම වාර්තා ද සමගින් සැකකරු අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට යළි ඉදිරිපත් කෙරුණා.
කහවත්ත කොටකෙතන ප්‍රදේශය පසුගිය වසර කිහිපයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණේ කාන්තා ඝාතන රැසක් වාර්තාවීමත් සමගයි.
2008 වසරේ ජුලි මස 21 ඕපාතවත්තේ පදිංචි සෙල්ලයියා මරියා නමැති 56 හැවිරිදි කාන්තාව.
2010 දෙසැම්බර් 21 වැනිදා දිඹුල්වල ප්‍රදේශයේදී සිරිවර්ධන මුදියන්සේලාගේ හීන් මැණිකේ නැමති කාන්තාව.
2011දෙසැම්බර් 15 වැනි දින විජේසුන්දර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ.
2012 ජනවාරි 31 වැනිදා හෝ ඊට ආසන්න දිනකදි මවක් සහ දියණියක්.
2012 මැයි 31 වන දා හෝ ඊට ආසන්න දිනයකදී වරාපිටියේදී වැන්දඹු කාන්තාවක් සහ අවිවාහක කාන්තාවක්.
2012 ජූලි මස 19 වැනි දා කහවත්ත පාසල අසළ පදිංචිව සිටි මවක් සහ දියණියක්.
2012 වසරේ ඔක්තෝබර් මස 31 වන දා වරාපිටිය - පන්සල පාරේ පදිංචි දෙදරු මවක්
2014 ඔක්තෝබර් මස 22 වැනිදා කහවත්ත ඕපාතවත්තේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්.
2015.අප්‍රේල් මස 5 වැනි දින දෙදරු මවක් ඝාතනය කිරීම ඉන් කිහිපයක්.
එම ඝාතන අතරින් ඝාතන 6කට ජයලත්ගේ නීල් ලක්ෂ්මන් යන සැකකරු සම්බන්ධ බවට ඉදිරිපත් කෙරුණු ඩී.එන්.ඒ වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ,
2010.12.21දින දිඹුල්වල ප්‍රදේශයේදී සිරිවර්ධන මුදියන්සේලාගේ හීන් මැණිකේ නැමති කාන්තාව දූෂණය කර ගෙළ සිඳ ඝාතනය කිරීම,
2011.12.15 දින විජේසුන්දර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ ඝාතනය කිරීම,
2012..05.31 හෝ ඊට ආසන්න දිනකදී වරාපිටියේ පදිංචිව සිටි සේතුංගගේ දයාවතී නැමති වැන්දබු කාන්තාව සහ ඇගේ නැගෙණිය වූ සේතුංගගේ තිලකාවතී නැමති අවිවාහක කාන්තාව ඝාතනය කිරීම,
2012.07.19 දින කහවත්ත පාසළ අසළ පදිංචිව සිටි එල්.ඒ.ප්‍රේමවතී සහ ඇගේ දියණිය වූ පුෂ්පා කුමාරි නැමති අවිවාහක කාන්තාව ඝාතනය කර ඇගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් මෙම ඝාතනයන්ට අදාළව මින් පෙර සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර ඇතමෙක් නිදොස් කොට නිදහස් කෙරුණා. දිඹුල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි සිරිවර්ධන මුදියන්සේලාගේ හීන් මැණිකේ නැමති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවනවා.
දයාවතී සහ තිලකාවතී නැමති සහෝදරියන් දෙදෙනාගේ ඝාතන සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතී සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණා.
ඝාතනයට ලක්වූ එල්.ඒ.ප්‍රේමවතී සහ ඇගේ දියණිය වූ පුෂ්පා කුමාරි නැමති අවිවාහක කාන්තාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් තිදෙනෙකු කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කිරීම වඩාත් ආන්දෝලනයකට ලක්වුණා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක නීතීඥයෙක් කරුණු පැහැදිලි කලේ පහත අයුරින්...
--ඩී.එන්.ඒ සාක්ෂි ගෙනාවා.ඒ ඩී.එන්.ඒ සාක්ෂි අනුව අනාවරණ වූණා කොටකෙතන ප්‍ර දේශයේ සිදු වෙච්ච කාන්තා ඝාතන 6කට සම්බන්ධ වුණේ එකම පුද්ගලයා කියන එක. බරපතල කාරණය තමයි අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්නේ නැතුව අහිංසකයෝ 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අමූලික බොරු නඩුවකත් හදලා ඒ මිනිස්සු එල්ලුම්ගස් යවලා තරු පළදින්න උත්සාහ කරපු පොලිස් නිලධාරීන්ගේ නිරුවත එළිවෙච්ච නඩුවක්.VIDEO