මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය, ඉංජිනේරු අමිල තිබ්බටුවාව මේ පිළිබඳ සමීක්ෂණය කර ඇති අතර ඔහු ඒ ගැන අදහස් දැක්වුවේ මෙලෙසයි.
"මේක ලංකාවට විතරක් බලපාන අර්බුදයක් නෙමෙයි. අඩු වැඩි වශයෙන් මුළු ලෝකයටම මේ ආහාර අර්බුදය බලපානවා. ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයට අමතරව අපිට තවත් අර්බුද තියෙනවා. තෙල් අර්බුදය, ආර්ථික අර්බුදය, පොහොර අර්බුදය ආදී වශයෙන්. පොහොර අර්බුද එනිසා ඒ නිසා ගොවීන්ට වගා කරගන්න බැරි වුණා. ඒ නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත් ඒ ප්‍රශ්නවල සම්පිණ්ඩනයක් ලෙස ආහාර අර්බුදයක් ඇති වෙලා තියෙනවා.
40% - 50% වගේ ප්‍රමාණයකින් ආහාර අර්බුදයක් ඉදිරියේදී එනවා. මීට පෙරත් ලංකවෙ එහෙම ආහාර අර්බුද ඇවිත් තියෙනවා. එහෙම වුණාම අපේ සමීපතම රටවල්වලින් අත්‍යවශ්‍ය ආහාර ගෙන්නුවා. දැන් තියෙන ඩොලර් ප්‍රශ්නෙත් එක්ක එහෙම ආහාර වෙනත් රටකින් ගෙන්වන්න විදිහකුත් නැහැ.
ආහාර අර්බුදයට ප්‍රධානතම හේතුවක් විදිහට අපිට තියෙන ආහාර නිෂ්පාදන ටිකත් සාර්ථකව පාරිභෝගිකයා අතට ලබා දෙන්න බැරිවෙලා තියෙනවා. මේ ගැන අපි ගොඩක් සමීක්ෂණ කරා ඒත් දත්ත බැලුවම අපිත් විශ්මයට පත්වෙනව එළවළු පලතුරු ගොවියාගේ සිට පාරිභෝගිකයාට යන සැපයුම් දාමය තුළ 35% - 40% ආහාර අපතේ යනවා."