ඇල්පිටිය පිටුවල අඩාහැලෙන ඇල්ල අසල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා. ඇල්ල අසල යතුරුපැදියක් දමාගොස් ඇති බවට ඇල්පිටිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කල විමර්ශණයකදීයි අද දහවල් 12 ට පමණ මෙම මළ සිරුරු දෙක සොයා ගැනුනේ.
විමර්ශණවලදී හෙළිවී ඇත්තේ යතුරුපැදිය ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් බවටයි. තවදුරටත් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදීයි වයස අවුරුදු 23 ක් වන තරුණයකුගේ මළ සිරුරක් සහ 18 හැවිරිදි තරුණියකගේ මළ සිරුරු හමුවී ඇත්තේ.
ඔවුන් දෙදෙනා නවදගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය - නවඳගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් සහ යුද හමුදා සෙබලෙක්.
පසුගිය සිකුරාදා සිට මොවුන් අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා. මළ සිරුරු ආසන්නයේ තිබී වස බෝතලයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.