16 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි උපුල් ශාමේන් බණ්ඩාර ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (07) අධි චෝදනා ගොනු කර තිබෙනවා. ඒ, සබරගමුව පළාත් බද මහාධිකරණයේදීයි.
මාවනැල්ලේ පදිංචි 16 හැවිරිදි දැරියක් 2010 වසරේ දෙසැම්බර් මස 2 වැනිදා හෝ ඊට ආසන්න දිනක දූෂණයට ලක්කිරීම ඇතුළු චෝදනා 10 කට සබරගමු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උපුල් ශාමෙන් බණ්ඩාර ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. .
අධිකරණයේදී විත්තිකරුවන් ප්‍රකාශ කළේ චෝදනා සියල්ලටම තමන් නිවැරදිකරුවන් වන බවයි. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමට පළාත් බද මහාධිකරන විනිසුරු ඒ.ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා නියෝග කළා.
ඇප මත නිදහස් කෙරුණු මන්ත්‍රීවරයා පිටතට රැගෙන ඒමට ඔහුගේ පෞද්ගලික ඩිෆෙන්ඩර් රථය අධිකරණ භූමිය තුළට ඇතුළුවීම මෙහිදී කැපී පෙනුණා.
එය සිදුවන්නේ අධිකරණ භූමියට විනිසුරුවරුන්ගේ සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ වාහන පමණක් ඇතුළු කිරීමට අවසර ලබා දී ඇති පසුබිමකයි.
ඇප මත නිදහස් වූ සැකකරුවන් අධිකරණ පරිශ්‍රය තුලදීම මෙවැනි වරප්‍රසාද ලැබීම මවිතයට කරුණක්. මීට පෙරද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම විත්තිකරුවන් ඇප මත නිදහස් කළ අවස්ථාවේ පළාත් සභා මන්ත්‍රී උපුල් ශාමේන් බණ්ඩාර පිළිගැනීමට විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටින ආකාරයද දැකගන්නට ලැබුණා.