කඳු නැගිල්ල ඇම්මක් කරගත්තු සංසදයකින් මට ඔහුව මුණ ගැහෙන්නෙ. මම තාරුක කියලා කියන්නම්. මේ ඔහු සහ ඔහුගේ නඩේ මුහුණ දුන්නු බිහිසුණු අත්දැකීම් අතුරෙන් එකම එකක්.
පෙට්ටිගල කියලා කියන්නෙ බලංගොඩ, ඕපනායක ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉතාම සුන්දර කඳු ගැටයක්. වසර තුනකින් අසල්වාසී ගම්මුවත් කන්ද තරණය කරලා නෑ කියලා තමයි ඔවුන්ට දැනගන්න ලැබිලා තියෙන්නෙ.
පෙට්ටිගල කියන්නෙ හාස්කම් තියෙන කන්දක් බව තමයි ගම්මු අතර ප්‍රචලිත. කොටින්ම තාරුකලා කන්ද නගින්න කලින් දවසම පේ වෙලා තමයි කන්ද නගින්න පටන් අරන් තියෙන්නෙ.
ගම්මු ඔවුන්ට උපදෙස් ගොන්නක්ම දීලා තියෙනවා. ඒ අනුව තාරුකලා කිසිම පුලුටු මාංශ හෝ මත්පැන් වර්ගයක් උඩට අරගෙන ගිහින් නෑ.
ඒත් වෙච්ච අකරතැබ්බවල නම් නිමාවක් නැති තරම්.
මුලින්ම ඔවුන්ට පාර වැරදිලා. ඔවුන් කටු අකුල් පීරගෙන කැලෑ කපාගෙන අවසානයේ කන්දෙන් බාගයක් නගිනකොටත් කරුවල වැටෙන්න පටන් අරගෙන.
මුදුනට නැගගන්න කොහොමවත් වෙලා නැති නිසා ඔවුන් තීරණය කරලා තියෙනවා කූඩාරම් අටවගන්න පහසු තැනක නවතින්න.
ගම්මු දීපු ඊළඟ උපදේශය තමයි,
"කවුරු හරි ඔයාලාගෙම කෙනෙක් කැලේ ඇතුළෙ ඉඳලා කතා කරලා බේරගන්න වගේ දෙයක් කියනවා ඇහුණොත් කීයටවත් ඒ දිහාවට යන්න එපාය" කියන එක.
හිතන්න...! තමන් එක්ක හිටපු කෙනෙක් කැලේ ඇතුළෙ ඉඳලා අඬගහනවා වගේ ඇහෙන්න තරම් ශබ්ද මායාවක්...!
කොහොමහරි පිරිස කන්ද මැද්දෙ නවාතැන් අරගෙන තියෙන්නෙ දම්වැල් දැම්මා වගේ එකිනෙකාව මග නොඇරෙන්න වග බලාගෙන.
එහෙම වෙලා තියෙද්දිත් නඩේ හිටපු කලින් දවසෙ බැරි වීමකින් පුළුටු කාපු කොල්ලාට කැලෑව ඇතුළෙ ඉඳලා කෙනෙක් අඬ ගහනවා වගේ ශබ්ද මායාවක් ඇහිලා තියෙනවා.
ගම්මු අර උදාන වැකිය නොකියන්න, මොන තරම් විනාශකාරී සිදුවීමක් සිද්ධ වෙන්න ඉඩ තිබුණද කියලා උපකල්පනය කරන්නත් බැරි තරම්...
"ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ ඔයාලා ඒ වගේ අත්භූත දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවද...?"
"අම්මෝ ඔව්....!"
ඒ උත්තරේ බොහෝ දේ තහවුරු කරගන්න ප්‍රමාණවත්.