සිය බිරිදට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර සැමියා වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් පුත්තලම - නවගත්තේගම - මුල්ලේගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ඊයේ රාත්‍රී 07ට පමණ මුල්ලේගම ප්‍රදේශයේ නිවසක් තුලදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි දෙදරු මවක් බවයි නවගත්තේගම පොලිසිය සඳහන් කළේ. මෙම අඹු සැමි යුවල අතර කලක් තිස්සේ පවුල් ආරවුලක් පැවති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ හේතුවෙන් බිරිද සැමියාගෙන් වෙන්ව ඇයගේ මවගේ නිවසට ගොස් ඇත්තේ මීට මාස කිහිපයකට පෙරදීයි.
ඊයේ පස්වරුවේ ත්‍රීරෝද රථයකින් පැමිණි සැමියා බලහත්කාරයෙන් බිරිද මුල්ලේගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත කැදවාගෙන ගොස් තිබෙනවා. ඉන් අනතුරුව නිවස තුලදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැමියා මුල්ලේගම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකට ගොස් වස පානය කර තිබෙනවා. පසුව මොහු අසාධ්‍ය තත්ත්වයෙන් කැලෑව තුල වැටී සිටියදී ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු එක්ව නවගත්තේගම රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව නවගත්තේගම පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
නවගත්තේගම පොලිසියෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුට මීට පෙර ලිංගික අපචාර චෝදනා රැසක් පවතින බවයි.