හැරී කුමරු හා මේගන් යුවළ බි්‍රතාන්‍යය හා බකිම්හැම් රජ මාලිගාව මැද මේ ෂෙල් බෝම්බය අත හැරියේ ඇමෙරිකාවේ ප්‍රසිද්ධතම හා ජනප්‍රියම මාධ්‍යවේදිනියකු වූ ඔප්රා වින්ෆ්‍රි (Orpra Winfrey) සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදීය. රැජනගේ මුනුපුරා හැරී හා මිනිපිරි ලේලිය කියා සිටියේ තමන් රජ පවුලත් බි්‍රතාන්‍යයත් අත්හැර ඇමෙරිකාවට පැමිණියේ බකිම්හැම් මාලිගාවේ ඇතැමුන්ගේ කෙනෙහිලිකම් ඉවසන්නට බැරිම තැන බවයි. කළු කෙල්ලක් වූ මේගන් මාකල් තම බිරිය වීම මාලිගාවේ රාජ්‍ය නිලධාරීන්ට දරාගත නොහැකි වූ නිසා ඇයට ජීවිතය එපා වන තරමට ඔවුන් අනියම් ලෙස හිරිහැර කළ බවත් මෙහිදී හැරී කුමාරයා ඇයට ප්‍රකාශ කළේය.
1981 අගෝස්තු 4දා කැලිෆෝනියා ලොස්ඇන්ජලිස් නුවර ඉපදුණු මේගන් මාකල්ගේ මව අප්‍රිකා හා ඇමෙරිකා සම්භවයක් ඇති Doria Raglandosය. යුරෝපා ඇමෙරිකා සම්භවයක් ඇති ඇයගේ පියා Thomas Markle දැන් ඉන්නේ මෙක්සිකෝවේය. මේගන්ට වයස හය වෙද්දී මවුපිය යුවළ දික්කසාද විය.
2016 ජුනි මාසයේ දිනක දික්කසාද ගැහැනියක් හා ටෙලිනාට්‍ය නිළියක් වූ මේගන් මේකල්ට යෙහෙළියකගේ උපන්දින උත්සවයකදී බි්‍රතාන්‍යයේ කිරුළ හිමි හයවැන්නා හැරී කුමරු මුල්වරට හමුවිය. ඉන්පසු ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ශීඝ්‍රයෙන් ලියලා ගියේය.
බි්‍රතාන්‍ය රජ පවුලට කළු කෙල්ලෙක් එකතු වෙන්නට යෑම ගැන යටි හිතින් අකැමැති වූ බි්‍රතාන්‍ය ටැබ්ලොයිඩ් පත්‍රකාරයන් මේගන් මාකල්ගේ ඉතිහාසය ඇදබාමින් හැකි හැමවිටම ඇයගේ ඇදකුද හොයන්නට විය.
2018 මැයි 19දා මහ රැජනගේ Windsor මාලිගාවේ ශාන්ත ජෝශප් දේවස්ථානයේ හැරී හා මේගන් උත්සවාකාරයෙන් අතිනත ගනිද්දී ලෝකය පුරා මිලියන 300ක ජනතාවක් එම සුන්දර අවස්ථාව සජීව ලෙස නැරඹූහ. මඟුලෙන් පසු හැරීට සසෙක්ස් ආදිපාදවරයා හා ආදිපාදවරිය (Duke & Dutchess of Sussex) යන ගරු පදවියද මහ රැජන විසින් පිරිනමන ලදී. එයට අමතරව Windsor මාලිගාව පිටුපස තිබෙන Frogmore Cottage මන්දිරයේ කුලී නොගෙවා වාසය කිරීමටද ඉඩ ලැබිණි.
මධුසමයෙන් පසු හැරී හා මේගන් රජ පවුලේ අනෙකුත් සාමාජිකයන් මෙන් නිල රාජ්‍ය කටයුතුවල යෙදෙමින් ගොඩනැඟිලි, පල්ලි විවෘත කරමින් ළමා නිවාස, පාසල් නිරීක්ෂණය කරමින් බි්‍රතාන්‍ය ජනතාවගේ බලවත් ගෞරවයටත් ආදරයටත් පත්විය.
2019 මැයි 6දා මෙම නව යුවළට ලැබුණු කුලුඳුල් පුතා ඔවුන් විසින් ‘ආචි මවුන්බැටන්’ යනුවෙන් නම් කරන ලදී. මුළු බි්‍රතාන්‍යයම හිතුවේ චාර්ල්ස් කුමරුගේ වැඩිමහල් පුතු විලියම් කුමාරයා හා කේට් කුමරිය මෙන් හැරී - මේගන් යුවළත් ඉතා සතුටෙන් මහ රැජන හා චාර්ල්ස් කුමරුගේ රැකවරණය යටතේ ජීවත් වනවා කියායි. නමුත් තරුණ විනෝදකාමියක වූ හැරීට අවශ්‍ය වූයේ සතියකට දෙතුන් වරක් රාජ්‍ය නිල කටයුතුවලට සහභාගි වනවාට වඩා විනෝදකාමී ජීවිතය ගත කිරීමටය. මේගන් මාකල්ටත් අවශ්‍ය වූයේ තම දරුවාත් රැගෙන යෙහෙළියන්ගේ ගෙවල්වලට සතුටු සාමිචියේ යෙදීමටය.
නමුත් රාජකීය පවුලේ සම්ප්‍රදායන් හා බකිම්හැම් මාලිගාව නීති අනුව හැරී හා මේගන්ට තමන්ට අවශ්‍ය ලෙස නිදහසේ කටයුතු කිරීමට ඉඩ නැති බව චාර්ල්ස් කුමාරයා විසින් ඔවුනට දෙතුන් වතාවක්ම පෙන්වා දෙන ලදී. නමුත් මෙයින් සැනසීමට පත් නොවූ හැරී කුමාරයා තමන්ටත් තම බිරියටත් රාජකීය නිල කටයුතුවලින් අෑත්ව නිදහස්ව පවුලේ සාමාජිකයන් වශයෙන් සිටීමට ඉඩදෙන ලෙස මහ රැජනගෙන් අවසර ඉල්ලා සිටියේය.
මෙය ආරංචි වූ බි්‍රතාන්‍යයේ ජාතිවාදී ටැබ්ලොයිඩ් පුවත්පත් හැරී - මේගන් යුවළ තදින් විවේචනය කරන්නට පටන් ගති. පුවත්පත් දරුණු ලෙස පහර දුන්නේ මේගන් මාකල් කුමරියටය.
“අර කළු කෙල්ල රජ පවුල විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනවා” යි Sun පත්‍රය චෝදනා කළ අතර
‘’හැරී කුමාරයා මේගන් කියන කළු කෙල්ල කියන කියන දේට නටන රූකඩයක් වෙලා” යැයි The Mirror පත්‍රය කීවේය. රට වෙනුවෙන් කළයුතු යුතුකම් සියල්ල අමතක කොට මෙම ජෝඩුව සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවන්නට කාලය යොදවනවා යැයි පුවත්පත් ඔවුන්ට දිගටම ෙදාස් පවරන්නට විය.
බි්‍රතාන්‍ය රජය ජනතා බදු මුදලින් වසරකට පවුම් මිලියන 82ක් හෙවත් රු. මිලියන 2,255ක් රාජකීය පවුලේ හා දහසක් නිලධාරීන්, ගොඩනැඟිලි, ඉඩ කඩම් නඩත්තු කිරීම සඳහා මහ රැජනට ගෙවනු ලබයි. මහ රැජන තම පවුලේ දූ දරුවන්ට මෙම මුදලින් දීමනාවක් ගෙවන අතර එම දීමනාවට සරිලන අන්දමේ මහජන සේවයක් ඉටු කිරීමට ඔවුහු බැඳී සිටිති.
නමුත් විනෝදකාමී අලුත විවාහපත් හැරී -මේගන් යුවළට අවශ්‍ය වූයේ රැජනගෙන් දීමනාව ලබාගන්නා අතරේ රාජ්‍ය නිල කටයුතුවලට සහභාගි නොවී තම පුතා සමඟ නිදහස් හා නිශ්ශබ්ද ජීවිතයක් ගත කිරීමටය.
“හැරී කුමාරයා හදන්නේ රැවුලයි කැඳයි දෙකම බේරගන්නයි“ ජනතා බදු මුදලින් යැපෙන ඔහුට නිල කටයුතුවල යෙදෙන්න බැරි නම් ඔහු හා ඔහුගේ කළු කෙල්ලට දෙන දීමනා සියල්ලම නැවැත්විය යුතු යැයි Daily Express පත්‍රය එළිපිට ප්‍රකාශ කළේය.
හැරී කුමරා හා මේගන්ගේ මේ පිළිවෙත ගැන රටපුරා බලවත් විරෝධය නැඟෙද්දී මහ රැජන හා චාර්ල්ස් කුමරා හැරී හා මේගන් සමඟ මෙය විසඳා ගැනීම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා කළෝය. නමුත් ඔවුන්ගේ දැඩි තීරණය වෙනස් කිරීමට ඔවුන් සමත්වූයේ නැත. අන්තිමේදී 2020 ජනවාරි මාසයේදී හැරී හා මේගන් සියලුම නිල කටයුතුවලින් නිදහස් කිරීමටත් ඒ වෙනුවෙන් ඔවුනට මහජන බදු මුදලින් ලබාදෙමින් තිබු සියලුම දීමනා නවතා දැමීමටත් රාජ්‍ය උපදෙස් අනුව මහ රැජන තීරණය කළාය. එසේම ඔවුන් නොමිලයේ වාසය කරමින් සිටි මහ රැජනට අයත් Frogmore cottage මහා මන්දිරයට මාසික කුලියක් ගෙවීමටත් ඔවුනට නියම විය.
2020 ජන. 20දා හැරී - මේගන් නිල වශයෙන්ම තම රාජකාරි කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය. 2020 මැයි මාසයේ හැරී හා මේගන් බි්‍රතාන්‍යයෙන් නික්ම කැනඩාවේ පදිංචියට යද්දී ඔවුනට සුබ පැතීමට රාජකීය පවුලේ කිසිම සාමාජිකයකු ගුවන්තොටුපොළට පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය. කැනඩාවේ ජීවිතය ඔවුනට සතුටක් ගෙනත් නුදුන් නිසා 2020 ජූලි මාසයේදී ඔවුන් තිදෙනාම මේගන් ඉපදුණු කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවර මහා මන්දිරයක් මිලට ගෙන එහි පදිංචි වූවෝය. 2021 පෙබරවාරි මාසයේ ඇමෙරිකන් මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් හැරී කුමරු ප්‍රීතියෙන් කියා සිටියේ තම බිරිය මේගන් මාකල්ට තවත් දරුවකු ලැබෙන්නට සිටින බවයි.
හැරී හා මේගන් රජ පවුලෙන් අස්වූයේ තමන්ට අප්‍රසිද්ධියේ පෞද්ගලික හා නිදහස් ජීවිත ගත කිරීමට අවශ්‍ය බව කියමිනි. එනිසා බි්‍රතාන්‍ය ජාතිකයන් සිතුවේ එම යුවළ ඇමෙරිකාවට වී නිශ්ශබ්ද ජීවිතයක් ගත කරාවි කියාය.
නමුත් මේ බලාපොරොත්තු සියල්ලම කඩ කරමින් පසුගිය ඉරිදා මේගන් - හැරී යුවළ Oprah Winfrey මාධ්‍යවේදිනිය ඉදිරියේ පෙනී සිටිමින් බි්‍රතාන්‍ය රජ පවුල පසුගිය වසර තුන තිස්සේම තමන්ට අනන්තවත් කෙනෙහෙලිකම් කළ බවට චෝදනා කරමින් බකිම්හැම් මාලිගාව මැදට කාල බෝම්බයක් විසි කළෝය.
පැය තුනක් තිස්සේ ප්‍රශ්න 183කට පිළිතුරු දෙමින් කෙරුණු මේ සංවාදයේදී ඔවුන් දෙදෙනා තමන්ගේම රජ පවුලට එල්ල කළ ප්‍රධාන චෝදනා මෙසේය.
මේගන් මාකල් “මම බි්‍රතාන්‍ය රජ පවුලට පසුගිය අවුරුදු 200 තුළ විවාහයකින් එක්වුණු ප්‍රථම කළු ජාතික කාන්තාව වීම බකිම්හැම් මාලිගාවේ බොහෝ සුදු නිලධාරීන්ට හා සේවකයන්ට දරාගන්න බැරි බව මට තේරුණේ එයාලා මම කියන දේවල්, කරන නියෝග තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. මාව අවතක්සේරු කරමින් තමයි එයාලා හැමවිටම කටයුතු කළේ. සුදු කෙල්ලක් වූ මගේ නෑනාට (විලියම් කුමරුගේ බිරිය කේට් කුමාරිය) ඔවුන් ගරුසත්කාර, අධි සැලකිලි දක්වන අතරේ මාව පහත් කරලා සලකන බව මට තේරුණා. බි්‍රතාන්‍යයේ ටැබ්ලොයිඩ් පත්තර ඊට වැඩිය අන්තයි. ඔවුන් මා දෙස බැලුවේ අවඥාවෙන්. මා ගැන බොරු ප්‍රවෘත්ති පළ කරමින් ඔවුන් නිතරම මාව හෙළා දැක්කා. බි්‍රතාන්‍ය අත්හැරලා ඇමෙරිකාවේ පදිංචියට ඒමට අපි කළ තීරණයට ටැබ්ලොයිඩ් පත්තරත් ලොකු හේතුවක් වුණා. මගේ පුතා Archieට His Royal Highness Prince රාජකීය උත්තම කුමරු යන නම්බුනාමය නොදීමට රජ පවුල තීරණය කළේ එයා මිශ්‍ර සම්භවයක් ඇති දරුවෙක් වීම නිසයි. ඒ විතරක් නෙවි මම පුතා හම්බවෙන්න ඉන්න කාලයේ මාලිගාවේ නිලධාරීන් මට දැන්වූවා මගේ පුතාට අනික් රජ කුමර කුමාරියන්ට ලැබෙන රාජ්‍ය ආරක්ෂාව නොලැබෙන බව. ඔවුන් කළේ ඉතා ආසාධාරණ ක්‍රියාවක්. එය අසා මම බොහෝ කම්පාවට පත් වුණෙමි. මහ රැජන මගේ ප්‍රශ්න හා අසහනවලට කිසිම විටක හේතුවක් වුණේ නැහැ. එතුමිය අදටත් මට බෙහෙවින් ආදරය කරනවා. මමත් එහෙමයි. නමුත් පවුලේ සමහර සාමාජිකයන් ඒ වගේ නෙවි.” හැරී කුමරු රජ පවුලෙන් අයින් වෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාට පස්සේ අපි ගිය අවුරුද්දේ නවතින්න ගෙයක් හොයන්න කැනඩාවට ගිහින් හිටියා. මම හිතන්නේ මගේ පියා චාර්ල්ස්ට එම තීරණය දරාගන්න බැරිවුණා. ඊට පස්සේ මම තාත්තාට බොහෝ වරක් ටෙලිෆෝන් කළත් ඔහු ඒවාට උත්තර දුන්නේ නැහැ. ඔහු මාව අයින් කරලා බව මට තේරුණා. මගේ පියාත් බොහෝ කලකට පෙර මා වගේම පීඩනයට ලක්ව ජීවත්වුණු කෙනෙක් නිසා ඔහුගේ මේ තීරණය ගැන බලවත් ලෙස කනගාටු වෙනවා. ඒ කොහොම වුණත් චාර්ල්ස් කුමාරයා මගේ පියා. මම එතුමාට බෙහෙවින් ආදරය කරනවා. මම හිතනවා මේ දුරස්ථභාවය නැතිකරගන්න ලොකු උත්සාහයක යෙදෙන්න වෙයි. නමුත් ඒකට සෑහෙන්න කල් ගත වෙයි. මගේ අයියා විලියම් හා මම පොඩි කාලයේ ඉඳන්් හිටියේ අඹ යාළුවෝ වගේ. අම්මා නැති වුණාට පස්සේ අපි බෙහෙවින් මානසිකව වැටුණු කාලේ අපි දෙන්නා එකිනෙකාට පිහිට වුණා. නමුත් 2019 ඉඳන් නොයෙකුත් හේතූන් නිසා අපේ ළඟ සම්බන්ධය නැතිව ගියා. ඉන්පසු අපි දෙපැත්තකට ගමන් කරන්න පටන් ගත්තා. මගේ අයියාට මම බෙහෙවින් ආදරය කරනවා. කතාවක් තියෙනවානේ කාලය හැම හිතක්ම සුවපත් කරනවා කියලා. ඉතින් මතු කලක අපිට ඒ සම්බන්ධය නැවත ගොඩනඟා ගත හැකියි. මම හා මේගන් රාජකීය කටයුතුවලින් අයින් වෙනවා කියන ආන්‍ෙදා්ලනාත්මක ප්‍රකාශය පුවත්පත්වලට නිකුත් කරන්න දවස් දෙක තුනකට විතර කලින් තමයි මමයි මේගනුයි කැනඩාවේ සාර්ථක සංචාරයකින් පස්සේ ආපහු ආවේ. මගේ මිත්තණිය එළිසබෙත් රැජන මට දවසක් දීලා තිබුණා එතුමිය ඇවිත් හමුවෙන්න කියලා. නමුත් මම කැනඩාවේ සාර්ථක සංචාරයකින් පස්සෙ ආපහු එංගලන්තෙට ආපු දවසෙම මාලිගාවෙන් පණිවුඩයක් ලැබුණා හමුවෙන්න නියම කරගෙන තිබුණු දවසේ එතුමියට කාර්යබහුල නිසා එම හමුවීම අවලංගු කළ බව. මම රැජනට ෆෝන් කරලා ඇහුවා ඒ සතියේ වෙන දවසක එතුමිය හමුවෙන්න පුළුවන්ද කියලා. එතකොට එතුමිය කිව්වා නෑ මම මුළු සතියෙම වෙනත් වැඩ යොදාගෙන තිබෙනවා කියලා. මට එතකොට තේරුණා මටයි - මේගන්ටයි විරුද්ධ බලවේග වෙනදාටත් වඩා දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන බව. ඔවුන් මහ රැජනගේ හිතත් දූෂණය කර තිබුණා.” මේගන් මාකල් “මට ඕන දේ කරන්න නිදහස නැතිකම නිසාත් යාළුවෝ හමුවීමට යෑමට අවසර නැතිවුණු නිසාත් මගේ මානසික තත්ත්වය එන්න එන්න පහළ වැටෙන්න ගත්තා. ඒක කොච්චර බලගතු වුණාද කියනවා නම් මට දිනෙන් දිනම සියදිවි නසාගන්න හිතුණා. මම දැනගත්තා මට ඉක්මනට ප්‍රතිකාර අවශ්‍ය බව. ඉතින් මම බකිම්හැම් පාලන තන්ත්‍රයේ මානව සම්පත් කළමනාකාර හමුවෙලා කිව්වා මට හොඳටම අසනීපයි. මගේ මානසික සෞඛ්‍යය හොඳටම පිරිහිලා. මට ඉක්මනට උදවු අවශ්‍යයි කියා. ඔයා හිතනවාද මට මොන වගේ උත්තරයක්ද ලැබුණේ කියලා එයාගෙන්? මානව සම්පත් කළමනාකාරිය මට කිව්වා ‘බොහොම කනගාටුයි ඔබ මාලිගාවේ කාර්ය මණ්ඩලයට අයත් කෙනෙක් නෙවි. ඔබ රජ කුමාරියක්. මට උදවු කරන්න පුළුවන් සේවකයන්ට හා නිලධාරීන්ට පමණයි‘ කියා. Orprah ඔයාට හිතාගන්න පුළුවන් නේද ඒ උත්තරයෙන් මම කොතරම් අසරණ වුණාද කියලා. මානසික පීඩනය නිසා දිවිනසාගන්න හිතෙන කාන්තාවක් ගිහිල්ලා තමන් ප්‍රතිකාර කරන තැනකට යොමු කරන්න කියලා බැගෑපත් ලෙස ඉල්ලා සිටියාම ඔවුන් නීති පොත පෙරළලා කියනවා ‘කනගාටුයි පොතේ හැටියට මට ඔබට උදවු කරන්න බැහැ කියා.’ මම එදා සියදිවි නසාගත්තේ නැති එක ගැන මටම පුදුමයි.” අවසානයේදී හැරී හා මේගන් Oprah Winfrey මාධ්‍යවේදිනිය ඉදිරියේ රජ පවුල වෙත මෙම දරුණුතම රොකට් ප්‍රහාරයක් මෙසේ එල්ල කළාය.
“මට ආචි පුතා හම්බවෙන්න ඉන්න කාලේ රජ පවුලේ සාමාජිකයෙක් (රැජන හෝ ඇයගේ සැමියා නොවේ) හැරී සමඟ අපේ නූපන් දරුවා ගැන කතා වෙලා තියෙනවා. ඒ වෙලාවේ එයා කියලා තියෙනවා මගේ පුතාගේ හමේ පාට මොකක් වෙයිද කියන එක ගැන එයාලට ප්‍රශ්නයක් (Concern) තියෙනවා කියලා. ඒ කියන්නේ දරුවා කළුවෙයිද කියලා නොකියා අහපු ඇහිල්ලක් නේද? හැබැයි ඒ ප්‍රශ්නය ඇහුවේ කවුද කියලා අපි දෙන්නා ඔයාටවත් වෙන කාටවත් කවදාක්වත් කියන්නෙ නම් නැහැ.” පැය තුනක් තිස්සේ පැවැති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී ඔවුන් රජ පවුලට එල්ල කළ බරපතළම චෝදනාව මෙම ජාතිවාදී සිද්ධියයි.
එම චෝදනාවෙන් හැරී ලොවට පෙන්නුම් කළේ බි්‍රතාන්‍ය රජ පවුලේ ඉහළතම සාමාජිකයකු හා ජාතිවාදී, වර්ණවාදී අදහස්වලින් පෙළෙන්නකු බවයි.
මේ දිනවල මහා බි්‍රතාන්‍යයේ බොහෝදෙනා අසන්නේ මේ සාමාජිකයා කවුරු විය හැකි බවද යන්නයි. ඔහු චාර්ල්ස් කුමාරයා හෝ හැරීගේ අයියා විලියම් කුමරු විය හැකිද? නැති නම් මේ ජාතිවාදී කතාව කීවේ ඇනා කුමරියද? එහෙමත් නැතිනම් ඇන්ඩෘෘ කුමාරයාද?
නමුත් හැරී - මේගන් දෙදෙනාම ඔහුව නම් කිරීම ප්‍රතික්ෂේප කරන නිසාම බි්‍රතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත් කියන්නේ ඇමෙරිකාවේ ජනතාවගේ අනුකම්පාව හා ආදරය දිනා ගැනීම සඳහා මේ දෙදෙනා මේ ජාතිවාදී කතාව හිතාමතා ගෙතූ බොරුවක් බවයි.
මේ වන විට හැරී - මේගන්ට පක්ෂව බි්‍රතාන්‍යයේ තරුණ පිරිස් තම අදහස් ප්‍රකාශ කරන නමුත් වැඩිහිටි බි්‍රතාන්‍ය ජාතිකයන් කියන්නේ ඇමෙරිකාවේ අලුත් ජීවිතයක් ගත කිරීමට ඇති ආසාවත් Netflix ආයතනය හරහා ඩොලර් මිලියන ගණනක ඉපයීමට ඇති කෑදරකම නිසා තමන්ගේ අලෙවිය වැඩි කරගැනීමට ඔවුන් රජ පවුලට අභූත චෝදනා කරමින් ගැරහූ බවයි.
නමුත් බි්‍රතාන්‍යයේ තරුණ පෙළ කියන්නේ රාජකීය පවුලේ අභ්‍යන්තරය ලෝකයට නිර්භීතව හෙළි කිරීම ගැන හැරී හා මේගන් යුවළට සම්මාන පිරිනැමිය යුතු බවයි.
මේ අතර මාර්තු නව වැනිදා Daily Mail පුවත්පත මඟින් කරන ලද ජන සමීක්ෂණයේදී 53%ක් කියා සිටින්නේ හැරී - මේගන් මෙම සම්මුඛ සාකච්ඡාවට ඉදිරිපත්වීම සම්පූර්ණ වැරැදි ක්‍රියාවක් බවයි. එසේම ජනතාවගෙන් 51%ක් කියා සිටින්නේ රජ පවුලට අපහාස කළ හැරී හා මේගන්ගේ (Duke & Dutches of Sussex) සසෙක්ස් ආදිපාදතුමා හා ආදිපාදවරිය යන රාජකීය නම්බු නාම වහාම ඉවත් කළ යුතු බවයි. නමුත් 49%ක් ප්‍රකාශ කරන්නේ හැරී - මේගන් සම්මුඛ සාකච්ඡාවෙන් වැඩිම හානිය සිදුවූයේ රජ පවුලට බවයි.
නමුත් 32%ක් කියා සිටින්නේ එයින් වැඩිම හානිවූයේ හැරී හා මේගන්ගේ ප්‍රතිරූපයට බවයි.
හැරී - මේගන්ගේ මාධ්‍ය සාකච්ඡාවට කෙටි ප්‍රතිචාරයක් දක්වමින් බකිම්හැම් මාලිගාව මහ රැජන නමින් මෙසේ ප්‍රකාශයක් නිකුත් කළේය.
“හැරී හා මේගන්ට පසුගිය වසර කිහිපය තුළ මුහුණ දෙන්නට සිදුවූ අභියෝග ගැන අසා අපි බලවත් කනගාටුවට පත්වුණෙමු. ඔවුන් විසින් මතු කරන ලද ප්‍රශ්න හා විශේෂයෙන්ම ජාතිවාදී චෝදනාව ගැන අපි බලවත් ලෙස සැලකිලිමත් වෙමු. සමහර අතීත සිදුවීම් පිළිබඳ මතකයන් එකිනෙකට වෙනස් විය හැකිය. නමුත් අපි ඒවා ඉතා බැරූරුම් ලෙස සලකා පෞද්ගලිකව ඒ පිළිබඳ පරීක්ෂණ කරන්නෙමු. හැරී - මේගන් හා ආචි අපේ පවුලේ ආදරය දිනූ සාමාජිකයන් ලෙස අපි හැමවිටම සලකමු.” බි්‍රතාන්‍ය පුවත්පත් කියා සිටින්නේ ‘අතීත සිදුවීම’ පිළිබඳ මතකයන් එකිනෙකට වෙනස් විය හැකිය යන රැජනගේ වාක්‍යයේ සැඟවුණු අරුත නම් හැරී හා මේගන් දෙන්නාම කියන්නේ බොරු බවයි.
[email protected] මේ ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්.. VIDEO