Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
“...අම්මේ ඒගොල්ලෝ ඇඹිලිපිටියේ, තාත්තා කිව්වේ බොරු.. අපේ පවුල කඩාකප්පල් කරන් එපා! ඔයාගේ නංගිට ඒක කියන්න..” - තහනම් ගහේ ගෙඩි කා, රටම හෙල්ලූ SI මාමා-ගේ මෙතෙක් හෙළි නොවූ රහස් සියල්ලම එළියට එයි - Video

- “...අම්මේ ඒගොල්ලෝ ඇඹිලිපිටියේ, තාත්තා කිව්වේ බොරු.. අපේ පවුල කඩාකප්පල් කරන් එපා! ඔයාගේ නංගිට ඒක කියන්න..” - තහනම් ගහේ ගෙඩි කා, රටම හෙල්ලූ SI මාමා-ගේ මෙතෙක් හෙළි නොවූ රහස් සියල්ලම එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

“මම වැඩ කරන තැන කෙල්ලෝ අපේ ගෙදර එන්න ආසයිලු !”

“පුතේ ඔය කෙල්ලගෙන් මට හරි කරදරයි!
එයා මාව බ්ලැක්මේල් කරන්නත් හදනවා....”

තිස් හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිරුර බෑගයක දමාගෙන ගොස් වේල්ල වීදියේ අතහැර සිය නිවෙස පිටුපස රබර් ගසක එල්ලී මියගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා පිළිබඳ පුවතින් මුළු රටම කැලඹී ගොස් තිබිණි.


මරා දැමුණු තරුණිය හා ඇගේ පෙම්වතා වූ උප පොලිස් පරීක්ෂකවරයා නවාතැන් ගෙන තිබුණේ අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ හංවැල්ල නගරයට නුදුරු දෙමහල් ලැගුම්හලක 106 වැනි කාමරයේය. තරුණියගේ හිස කොටස ඇගේ බෑගයටම දමා ගඟට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක කරන බව පෙනේ.

නාවික කොට්ඨාසයේ නිලධාරීන් බෝට්ටු දෙකක් මඟින් මෝදර සිට හංවැල්ල දක්වා කැලණි ගං තීරය දැඩි සෝදිසියට ලක්කර ඇත්තේ එබැවිනි.

මේ අතර දිවි නසාගත් ප්‍රේමසිරි ඇගේ හිස කොටස සිය කරේ එල්ලාගෙන සිටි බෑගයේ දමාගෙන යන්නට ඇතැයිද සැකයක් පවතී. ඔහු කොළඹ සිට මොනරාගල දක්වා යන බසයට නැඟ ඇත්තේද එවන් බෑගයක් ඇතිවය. හිස කොටස බඩල්කුඹුරට ගෙන ගියේද යන්නද ප්‍රශ්නකාරීය.

එම ඝාතනය හා දිවි නසා ගැනීම අනියම් පෙම් පටලැවිල්ලක් දුරදිග යෑමෙන් සිදුවී ඇති බවට සැක කෙරෙයි. ප්‍රේමසිරිගේ වයස අවුරුදු 52ක් වන අතර දිලිනිට 30කි.

ඔවුන්ගේ සබඳතාව ඇරඹී ඇත්තේ මීට වසර තුනකට පෙරය.

ප්‍රේමසිරි පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී ඇත්තේ කොස්තාපල්වරයකු හැටියටය. හැඩි දැඩි සිරුරකට හිමිකම් කී ඔහු වසර ගණනාවකට පසු සැරයන් තනතුරට උසස් කෙරී ඇත. ඒ අතර පොලිස් බොක්සිං කණ්ඩායමටත් පොලිස් රගර් කණ්ඩායමටත් ඔහු එක් වී තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම පුද්ගලයකුගේ ආරක්ෂක අංශයේ සේවය කළ මොහු ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හරීන් ප්‍රනාන්දු හා හේෂා විතානගේ යන මහත්වරුන්ගේ ආරක්ෂක අංශවලද සේවය කර තිබිණි.

ඔහු හේෂා මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. ඒ නිසා මන්ත්‍රිවරයා යන එන ගමන්වලට බොහෝදුරට ප්‍රේමසිරිටද යෑමට සිදුවී තිබේ.

ප්‍රේමසිරිට කුරුවිට පදිංචි දිලිනි යසෝධා ජයසූරිය හඳුනාගන්නට ලැබී ඇත්තේ මේ කාලයේදීය. දිලිනිගේ සොහොයුරාද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය මන්ත්‍රිවරයෙකි.

ඒ නිසා ඔහු නිතර හේෂා මන්ත්‍රිවරයා මුණගැසීමට ආ ගියේය. දිලිනිද දේශපාලන කටයුතු සඳහා මන්ත්‍රිවරයා හමුවීමට ගොස් තිබේ. ප්‍රේමසිරිට දිලිනි මුණගැසී ඇත්තේ ඔය යන එන අතරය. මුලදී ඇයට සිනහවකින් සංග්‍රහ කර ඇති ඔහු දිලිනි අමතා ඇත්තේ ‘දුව‘ කියා බවද දැනගන්නට තිබේ.

දිලිනි මෙන්ම දිලිනිගේ සොහොයුරාද ප්‍රේමසිරි සමඟ හිතවත් වී ඇත. ප්‍රේමසිරි ඔහුට පුතා යනුවෙන් අමතා ඇත. මුලදී දිලිනි සමඟ ඇති වූ හිතවත්කම පසුව ප්‍රේම සබඳතාවක් බවට දුරදිග ගොස් ඇත. තමා විවාහකයකු බව ප්‍රේමසිරි මුලින් ඇයට පවසා නොතිබිණි. ප්‍රේමසිරිගේ හැඩිදැඩි සිරුරද ඔහු පොලිස් නිලධාරියකු වීමද දිලිනිගේ හිත ඇදෙන්නට හේතු වූවා විය හැකිය.

කල් යත්ම දෙදෙනා ගමන් ගිය අවස්ථාවලදී ඔහු ඇය අමතා ඇත්තේ ‘දිලිනි’ නැත්නම් ‘මැණිකේ’ යනුවෙනි.

ප්‍රේමසිරි ඇයට වඩා වසර විස්සකින් පමණ වැඩිමහල් වුවත් එය දිලිනිගේ ප්‍රේමයට බාධාවක් වී නැත. ඇයට අවශ්‍ය වී ඇත්තේ ප්‍රේමසිරි හා විවාහ ජීවිතයක් ගත කිරීමටය. ඇය ජීවිතේ සියලු දේ ඔහුට පුදකර ඇත්තේ ඒ අපේක්ෂාවෙනි. ප්‍රේමසිරිගෙන් තොර ලෝකයක් ඇයට තිබී නැත.

මේ වනවිටත් ප්‍රේමසිරි දරු තිදෙනකුගේ පියකුව සිටියේය. ප්‍රේමසිරි සිය බිරිය ක්‍රිෂාන්ති හා විවාහ වී ඇත්තේ 1995දීය. ඒ මවුපිය ආශීර්වාදය මැදය.

මුල් කාලයේ ඔවුන් පදිංචි වී ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේය. මීට වසර විසි දෙකකට පමණ පෙර මොවුන් බඩල්කුඹුර පහේ කණුවට පැමිණ ඇත. ඔවුන් දෙපළ දරුවන් සමඟ ගත කළේ සැහැල්ලු ආදරබර ජීවිතයකි.

ප්‍රේමසිරි ඇමැති ආරක්ෂක අංශයේ රාජකාරි කරන බැවින් ඔහුට ගෙදර එන්නට ලැබී ඇත්තේ මසකට වරකි. මාසයටම දින 10ක නිවාඩුවක් ඔහුට ලැබී තිබේ. ඒ පැමිණි විට ඔහු කාලය ගතකර ඇත්තේ බිරිය හා දරුවන් සමඟිනි. ඔහු දරුවන්ට බෙහෙවින් ආදරය කළ පියෙකි. දරුවන්ගේ මෙන්ම බිරියගේද අඩුපාඩු සොයා බැලීමද වැටුප බිරිය අතට දීමද ප්‍රේමසිරිගේ පුරුද්දක් වී තිබේ. ඒ අතරම ඔහු ගෙදරට බොරු කියා දිලිනි සමඟද කාලය ගත කිරීමටද යුහුසුලු වී ඇත.

‘’මම වැඩ කරන තැන කෙල්ලෝ අපේ ගෙදර එන්න ආසයිලු’’ ප්‍රේමසිරි දිනක් බිරියට පවසා ඇත. ඇය ඊට ප්‍රතිචාරයක් නොදැක්වුවද ප්‍රේමසිරි දිලිනි හා ඇගේ මිතුරියක සමඟ බඩල්කුඹුරට පැමිණ තිබේ.

ඉන්පසු ඔවුන් සමඟ තම බාල දියණියද පරවියන් ඇල්ලට දිය නෑමට රැගෙන ගොස් ඇත්තේද ප්‍රේමසිරිය. එදින ප්‍රේමසිරිගේ බිරිය හා වැඩිමහල් දියණිය නිවෙසේ සිට නැත. ගෙදර පැමිණි පොඩි දුව සිදුවූ සියල්ල සිය මවට පවසා තිබේ.

‘’අම්මේ ඒගොල්ලෝ ඇඹිලිපිටියේ. තාත්තා කිව්වේ මොනරාගල කියලා නේද? ඒ බොරු. ඒ කෙල්ලගේ නම දිලිනි.’’

මෙය ඇසූ බිරිය බොරු කීම ගැන ප්‍රේමසිරිට බැන වදින්නට වූවාය. දිලිනි හොඳ චරිතයක් ඇති කෙල්ලක් නොවන බව ඇය සිතා තිබිණි.

මේ අතර බිරිය දිනක් නිවාඩුවට ගෙදර පැමිණ සිටි ප්‍රේමසිරිගේ ජංගම දුරකථනය ඔහුට හොරෙන් පිරික්සා බැලුවාය. එහි තරුණියකගෙන් ලැබුණු කෙටි පණිවුඩ 7ක් විය. තවදුරටත් පිරික්සද්දී එම තරුණියගේ ඡායාරූපද ඇයට හමුවිය. බිරියගේ සැකය තවත් වැඩි විය.

ලොකු පුතෙකුත් ගැහැනු දරුවනුත් ඉන්නා නිසා එම තරුණිය සමඟ ඇති සබඳතාව නතර කරන ලෙස බිරිය හඬමින් ප්‍රේමසිරිගෙන් ඉල්ලා සිටියාය. ප්‍රේමසිරි සබඳතාව නතර කරන බවට ඇයට පොරොන්දු විය. එහෙත් දිලිනි ඊට කැමැති නොවූවාය. ඒ ඇය ඔහු වෙනුවෙන් සියල්ල පූජා කර ඇති නිසාය.

තම සැමියාගේ අනියම් සබඳතාව නතර නොවන බව වටහාගත් බිරිය ඉන් අනතුරුව කළේ සැමියාට නොකියාම දිලිනිට කතා කිරීමය. තමාට දරුවන් තිදෙනකු ඉන්න බවත් තම පවුල කඩා බිඳ නොදමන ලෙසත් කියමින් ඇය දිලිනිට බැන වැදුණාය. ප්‍රශ්නය දුර දිග ගියේ එතැන් සිටය.

ප්‍රේමසිරි විවාහකයකු බවත්, ඔහුට දරුවන් තිදෙනකු ඉන්නා බවත් දැනගත් දිලිනිගේ හිස ගිනිගන්නට ඇත. ඔහුට ප්‍රේමය පුදකළේ තමාගේ නොදැනුවත්කම නිසා බවත් ප්‍රේමසිරි තමා රැවටූ බවත් ඇයට වැටහිණි. ඇයද හඬ හඬා ප්‍රේමසිරිට බැන වැදුණාය.

එහෙත් ප්‍රේමසිරි බොරු කියමින් ඇය සැනසුවේය. අවසානයේ ප්‍රේමසිරි ඇයට කීවේ ක්‍රිෂාන්ති අතහැර දිලිනිව විවාහ කරගන්නා බවය. දිලිනිද ඒ කීම විශ්වාස කර සිත සන්සුන් කරගත්තාය.

මේ අතර දිනක් ප්‍රේමසිරිගේ සොහොයුරියක්ද බව කියන කාන්තාවක්ද දිලිනිගේ සොහොයුරා ඇමැතුවාය.

‘’අපේ පවුල කඩාකප්පල් කරන්න දෙන්න එපා! ඔයාගේ නංගිට ඒක කියලා දෙන්න !’’

දිලිනිත් ප්‍රේමසිරිත් අතර පෙම් සබඳතාවක් ඇති බව දිලිනිගේ සොහොයුරු ප්‍රභාත් දැනගත්තේද එවිටය. ප්‍රේමසිරි තම මව බැලීමට යැයි කියමින් තම නිවෙසට පැමිණි අයුරු ප්‍රභාත්ට මතක් විය. මව සිටින්නේ ඔත්පළවය. ඒ බව ප්‍රේමසිරි දැනගත්තේද දිලිනිගෙනි. අම්මා ඔත්පළ නිසා ඇය රැකියාවද අතහැර දැම්මාය. ඒත් මේ සම්බන්ධය ගැන වගේ වගක් ඇය ප්‍රභාත්ට කියා තිබුණේ නැත. ප්‍රභාත් මේ ගැන දිලිනිගෙන් ප්‍රශ්න කළේය. ඒත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළාය.

‘’එයා මට වඩා කොච්චර වයස කෙනෙක්ද අයියේ. අයියට පිස්සුද?’’

දිලිනි සොහොයුරාට කීවාය. ප්‍රභාත් ඇගේ කතාව විශ්වාස කළේය.

ප්‍රේමසිරි සමඟ ඇති කරගත් ප්‍රේම සබඳතාව ගැන තම සොහොයුරාට පැවැසීම ගැන දිලිනි සිටියේ තරහිනි. ඇය ඒ බව ප්‍රේමසිරිටද කීවාය. ඒත් ඇය එතැනින් නතර නොවූවාය.

ඉන්පසු ඇය ප්‍රේමසිරිගේ බිරියට දුරකථනයෙන් නොයෙක් දේ කීවාය. ක්‍රිෂාන්තිගේ සිත වචනවලින් පලුදු කිරීමට දිලිනි උත්සාහ ගත්තාය. ක්‍රිෂාන්ති මේ බව ප්‍රේමසිරිටද කීවාය. ප්‍රේමසිරි දිලිනිට බැන වැදුණේය.

තමාව කෙසේ හෝ විවාහ කරගන්නා ලෙස දිලිනි හැම මොහොතේම ප්‍රේමසිරිට කීවාය. ඒ වනවිට ප්‍රේමසිරිගේ හා දිලිනිගේ සබඳතාව ප්‍රේමසිරිගේ දරුවන්ද දැනගෙන තිබිණි. ප්‍රේමසිරි ඔවුනට කීවේ සබඳතාව නතර කර ඇති බවකි. අනෙක් වරෙක දිලිනි ප්‍රේමසිරිට කරදරයක් විය.

‘පුතේ ඔය කෙල්ලගෙන් මට හරි කරදරයි! එයා මාව බ්ලැක්මේල් කරන්නත් හදනවා!’

ඔහු බැරිම තැන තම පුතුටද කීවේය. ප්‍රේමසිරිගේ පුතා වයස විසි ගණනක තරුණයෙකි. කොළඹ රැකියාව කළ ඔහු නැවතී සිටියේද කොළඹය. තමා දිලිනිගෙන් අෑත් වුවද දිලිනි තමා පසුපසම එන බව ප්‍රේමසිරි අවසානයේ සිය බිරියට කීවේය.

දිලිනි ප්‍රේමසිරි පසුපසම ඒම ඔහුට මහත් කරදරයක් වන්නට ඇත. ඔහු අවසන් තීරණය ගත්තේ ඒ නිසා විය යුතුය. ඒ අනුව ප්‍රේමසිරි ඇය හමුවීමට ඉකුත් 27 වැනි දින යොදා ගත්තේය.

දිලිනිටත් අවශ්‍ය වූයේ පෙම්වතා තුරුලේ නැළවීමටය. ඒ නිසා ඇය තම මිතුරු මිතුරියන් සමඟ ශ්‍රී පාදය වඳින්නට යන බවට ගෙදරට බොරුවක් කීවාය. දන්සලක් දීමටත් අම්බලම් පිරිසුදු කිරීමටත් අදහස් කරන බවද ඇය කීවාය.

ඒ අනුව ඇය විසිහත් වැනිදා නිවෙසින් පිටව ගියාය. රාත්‍රි නවයට පමණ ප්‍රභාත් ඇයට ඇමතුමක් ගෙන ‘නංගි කොහේද ඉන්නේ!’යි ඇසුවේය.

‘’අයියේ, අපි දැන් එරත්නේ ඉන්නේ’’ දිලිනි ඊට පිළිතුරු දුන්නාය.

දිලිනි ඒ වනවිට සිටියේ ප්‍රේමසිරි සමඟය. ප්‍රේමසිරි ඇය කැඳවාගෙන යෑමට කුරුවිටට පැමිණ සිටියේය. දෙදෙනාම එදා ගියේ හංවැල්ලටය. නගරයට නුදුරින් පිහිටි හෝටලයට ඔවුන් යනවිට රාත්‍රි දහයට පමණ වී තිබිණි. හෝටලයේ හිමිකරු සහ බිරියද සිටියහ.

“අපිට ඔයගොල්ලන්ගේ අයිඩෙන්ටි කාඩ් දෙන්න’’

හිමිකරුගේ බිරිය ඉල්ලා සිටියාය. දෙදෙනාම සිය හැඳුනුම්පත් ඇයට දුන්හ. ඔවුන්ට උඩ තට්ටුවේ කාමර අංක 106 වෙන් විය.

ප්‍රේමසිරිද හංවැල්ලට පැමිණ තිබුණේ පොලිසියට මෙන් සිය බිරියටද බොරු කියාය. ප්‍රේමසිරි පොලිසියට කියා තිබුණේ තම මවගේ තුන් මාසේ දානයට යන නිසා නිවාඩු ගන්නා බවය. ඔහු බුත්තලට ආවේ බිරිය ගෙදර නොසිටි නිසා වන්නට ඇත. බුත්තලදී ඔහුට සිය දියණිය මුණගැසිණි.

“පුතේ මම හදිස්සියට කොළඹ යනවා අම්මට කියන්න.”

එසේ කී ප්‍රේමසිරි සිය අනියම් පෙම්වතිය සමඟ එදින රාත්‍රිය හෝටලයේ ගත කළේය.

පසුදාට පහන් විය. ප්‍රේමසිරිත් දිලිනිත් පසුදා (28දා) දවසද ගත කළේ එම හෝටල් කාමරයේය. ඒ අතරතුර දෙන්නා දෙතුන් වතාවක්ම හෝටලයෙන් පිටතටද ගියහ. ඒ ආහාර ඇතුළු අවශ්‍ය දෑ ලබාගැනීමටය. ඔවුන් හෝටලයෙන් මිලදී ගෙන තිබුණේ කිරි තේ දෙකක් පමණි.

හෝටල් කාමරය තුළ ඒ දින දෙකේදී ඇති වූ කතාබහ, කී ආදර වදන්, සිදුවූ රණ්ඩු සරුවල් දන්නේ ඔවුන් දෙදෙනා පමණි.

කෙසේ වෙතත් පළමු වැනිදා උදය වරුවේද ප්‍රේමසිරි තනිවම හෝටලයෙන් පිටතට ගියේය. ඒ සඳුදා හංවැල්ලේ පොළ තිබිණි. පොළට ගිය ප්‍රේමසිරි වෙළෙන්දියකගෙන් පිහියක් මිලදී ගත්තේය. ඊට අමතරව රුපියල් 6250ක් ගෙවා බෑගයක්ද මිලදී ගත්තේය. එය කාටවත් නොපෙනෙන අයුරින් ලැගුම්හල තුළට ගෙන ඒමටද ඔහු උපක්‍රමශීලී විය.

පොලිසිය කියන හැටියට ඔහු එම අත්බෑගය ගෙනැවිත් ඇත්තේ දිලිනි මරා දමා ඇගේ කඳ එහි බහාලන්නටය. ඒ අනුව පොලිසිය සැක කරන්නේ ඇයට පහරදී ගෙල මිරිකා මරා දමන්නට ඇති බවය. ඉන් අනතුරුව මැරී වැටී සිටි දිලිනිගේ ගෙල කඳෙන් වෙන් කරන්නට ඇතැයි සැක කෙරේ.

ඒ වනවිට දිලිනිගේ ගෙලෙන් හා කඳෙන් ගලා ගිය රුධිරය කැටි ගැසී තිබෙන්නට ඇත. ඉන්පසු ඇගේ හිස සුන් සිරුර නවා බෑගය තුළට දැමූ ප්‍රේමසිරි රුධිරය වැගිරෙන්නට නොහැකි අයුරින් සිරුරද සකස් කරන්නට ඇත. ඔහු ලැගුම්හලෙන් පිටට ගියේ ඉන් පසුවය.

ඊට කලින් ඔහු ලැගුම්හලේ බිල ලෙස රුපියල් 4100ක් ගෙවා දැම්මේය. ඒ අයිතිකරුගේ බිරියටය. ඒ වනවිට දිලිනි ඔහු සමඟ නොසිටීම හෝටල් පරිපාලනයේ සැලකිල්ලකට ලක්වී නැත. මෙවන් ලැගුම්හල්වලට පැමිණෙන බහුතරය අනියම් සබඳකම් පවත්වන කාන්තා අය බවත් බොහෝ විට කාන්තාවන් වහන් වී සිටින බවත් ඔවුහු දැන සිටියහ.

දිලිනිගේ සිරුර දමා ගත් බෑගය අතින් ඇදගෙන කරේ තවත් බෑගයක්ද එල්ලාගෙන ප්‍රේමසිරි හෝටලයෙන් පිටව ගියේ උදෑසන 10ට පමණය. ඒ වනවිට ලැගුම්හලේ හිමිකරු උඩ තට්ටුවේ කිසියම් කාර්යයක නිරත වී සිටියේය. ඔහු ප්‍රේමසිරි පිටව යනු දුටුවද ඒ කෙරෙහි අවධානයක් යොමු කර නැත.

මෙලෙස පැමිණි ප්‍රේමසිරි හෝටලය ඉදිරිපස පාරේ දිවෙන ඩීසල් ත්‍රිරෝද රියක් නතර කරගෙන දිලිනිගේ සිරුර සහිත සූට්කේසයද ඊට පටවාගෙන විත් හංවැල්ල බස් නැවතුම්පළ අසලදී අංක 143 පිටකොටුව - හංවැල්ල බස් රියට ගොඩවිය. එහි පිටුපස අසුනේ වාඩි වූ ප්‍රේමසිරි කෙළින්ම ආවේ ගෑස්පහ හන්දියටය. එතැනදී බැසගත් ඔහු බෑගයද ඇදගෙන පාර දිගේ පැමිණ එක් තැනක එම බෑගය තබා හීන්සීරුවේ එතැනින් මාරුවිය.

නිල්පැහැති සූට්කේසයක් බොහෝ වේලාවක් එකම තැන ඇති අයුරු දුටු පුද්ගලයෙක් ඒ බව වේල්ලවීදිය පොලිසියට දැනුම් දුන්නේය. බෑගය තුළ කාන්තාවකගේ හිස නැති සිරුරක් ඇති බව පොලිසිය වටහා ගත්තේ ඉන් පසුවය.

පසුව බස්නාහිර පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, වේල්ලවීදිය ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන ඇරඹූහ. නිලධාරීන්ගේ අවධානය සී.සී.ටී.වී. කැමරා වෙත යොමු වුණේ ඉන් අනතුරුවය. ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත වේල්ලවීදිය හා ඒ අවට කැමරා සෝදිසිය ඇරඹිණි. උත්සාහය සාර්ථක විය. දමාගිය බෑගය අතින් ඇදගෙන එතැනට පැමිණෙන හැඩිදැඩි අයකුගේ රූපය සී. සී. ටී. වී. කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි. එම පුද්ගලයාගේ කරේද තවත් ගමන් මල්ලක් ඇති බව පෙනිණි.

පොලිසිය ඊළඟට පියවර ගත්තේ එම පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට හා හිස සුන් කාන්තාව කවුදැයි දැනගන්නටය.

හිස සුන් මළකඳ හඳුනා ගැනීමටත් ඒ කවන්ධය සූට්කේසයක දමා වේල්ලවීදියට ගෙනා හැඩිදැඩි පුද්ගලයා හඳුනා ගැනීමටත් පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලීය.

පොලිසියේ ඉල්ලීමට මහජන ප්‍රතිචාර බොහෝ විය. වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාට මේ ගැන විමසා ලැබූ ඇමතුම් සංඛ්‍යාව 200කට අධික විය. ඒ අතර විදේශ රටවල සිට ලබාදුන් ඇමැතුම්ද විය.

දිනපතා පුවත්පතක් කියවීම හංවැල්ල හෝටල් හිමියාගේ පුරුද්දක් වී තිබිණි. එදින පුවත්පත කියවන විට ඔහු දුටුවේ බෑගයක් අතින් ඇදගෙන කරේද බෑගයක් දමාගෙන යන සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් ඡායාරූපයන්ය.

ඒ ඊයේ හෝටලයෙන් ගිය මනුස්සයා නේ දැයි ඔහු මඳක් කලබල වූයේය. මේ බව සිය බිරියටද කීවේය. එවර ඇය කීවේ තවත් කතාවකි.

“ඊයේ රෑ මට කෝල් එකක් ආවා. එයා කිව්වා එයා මේ අපේ කාමරයක හිටියා. ඔයගොල්ලෝ අපි කාමරයට ආවම අපේ විස්තර ලියාගන්නවාද කියලා. මම කිව්වා අපිට එහෙම කරන්න කියලා පොලිසිය කියලා තියෙන්නේ කියලා. එතකොට එයා ඇහැව්වා කවුරුහරි ඇවිල්ලා ඒ විස්තර ඉල්ලුවොත් දෙනවාද කියා. මම කිව්වා පොලිසියෙන් ඉල්ලුවොත් දෙනවා කියලා. මටත් නිකම් සැකයි වගේ.”

බිරියගේ කතාවත් ඇසූ ලැගුම්හල් හිමියා දිනපතා පුවත්පතද රැගෙන කෙළින්ම පැමිණියේ හංවැල්ල පොලිසියටය. ඒ වනවිට එහි අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා සිටියේය. ඒ පාරේ දමාගිය කාන්තාවකගේ යට ඇඳුම් ඇතුළු තවත් ඇඳුම් සහිත බෑගයක් පරීක්‍ෂා කරමින්ය.

“සර් මාර වැඩක්නේ. මේ පත්තරේ දාලා තියෙන මනුස්සයා ඊයේ අපේ හෝටලේ කාමරයක හිටියනේ.”

ලැගුම්හල් හිමියාගේ කතාව ඇසූ පොලිස් පරීක්‍ෂක සුජිත් වහා මේ බව ස්ථානාධිපතිවරයා දැනුවත් කර අදාළ ලැගුම්හලට ගියේය.

ඒ වනවිටත් මෙම පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය මහන්සි ගනිමින් සිටියේය. පුද්ගලයාගේ ගමන් කරන විලාසය අනුව, ඇඟපත අනුව මෙම පුද්ගලයා ආරක්‍ෂක අංශ සාමාජිකයකු විය හැකි බවට පොලිසිය සැක කළේය. සී.සී.ටී.වී. කැමරා දර්ශන අනුව එම පුද්ගලයා පැමිණි පෞද්ගලික බස් රිය හඳුනා ගැනීමට පොලිසියට හැකි විය. පසුව එම බසයේ රියැදුරා හා කොන්‍ෙදාස්තරවරයා වේල්ලවීදිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරද්දී හෙළි වූයේ ඔහු බෑගයක් රැගෙන හංවැල්ල

බස් නැවතුම්පොළෙන් තම බසයට නැඟගත් බවය. පසුව පොලිස් කණ්ඩායමක් හංවැල්ලට පිටත්කර යැවුණු අතර ඒ සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියද දැනුවත් කෙරිණි.

මේ අතර හංවැල්ල ලැගුම්හලට ගිය හංවැල්ල පොලිසියේ නිලධාරීන්ට වැටහුණේ සී.සී.ටී.වී. ඡායාරූපවල සිටින පුද්ගලයා කාන්තාවක් සමඟ ඊට පෙරදා එම හෝටලයේ නතරව ඇති බවය. පසුව ලැගුම්හලේ ඇති නාම ලේඛනය පිරික්සූ නිලධාරීන්ට 106 කාමරයේ නතරව සිටි යුවළ කවුරුන් දැයි දැනගැනීමට හැකිවිය. ඒ නාම ලේඛනයේ සටහන්ව තිබූ ඔවුන් දෙදෙනාගේ නම් ගම් සහ ජාතික හැඳුනුම්පත් අංකද සමඟය.

පසුව මේ සම්බන්ධයෙන් නිලධාරීන් කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කෙරුණු අතර ඔහු ඒ බව බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නේය. විමර්ශන ඇරඹුණේ එතැන් පටන්ය. ඒ අනුව මෙම ලිපින දෙකට අදාළ පොලිස් ස්ථානවලට පණිවුඩ යැවිණි.

ලැගුම්හලේ සිටි පුද්ගලයා අධිකාරි මුදියන්සේගේ ප්‍රේමසිරි නමැත්තෙකි. ඔහු බඩල්කුඹුර, මුතුකෙළියාව, වෙහෙරගොඩ පහේ කණුව පදිංචිකරුවෙක් විය. වහා බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ උක්ත පොලිස් නිලධාරීහු වහා මෙම නිවෙසට ගොස් එම නිවෙසේ රැඳී සිටින්නේ කවුද ඔහු නිවෙසේ සිටිත්ද යන්න දන්වන ලෙස කීහ. ප්‍රේමසිරි සමඟ රැඳුණු තරුණිය කුරුවිට, තෙප්පනාව, වේගම පදිංචි දිලිනි යශෝධා ජයසූරිය නම් වූ තිස් හැවිරිදි කාන්තාව බව දැනගත් පොලිසියේ ඉහළ නිලධාරීහු ඇය ගැන සොයා බලන ලෙස කුරුවිට පොලිසිය දැනුවත් කළහ. ඒ අනුව බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි නිලධාරීන් දෙදෙනකු වෙහෙරගොඩ ගෙදරට පිටත් කර යැවීය. අදාළ නිවෙසට ගිය බුද්ධි නිලධාරීන් කවුදැයි යන්න හඳුනා ගැනීමට ප්‍රේමසිරිට හැකියාව තිබිණි. ඒ වනවිට ප්‍රේමසිරි සිටියේ බිරිය සමඟය. එම නිවෙසේ පදිංචිව සිටින්නේ බුත්තල පොලිසියේ සේවය කරන උප පොලිස් පරීක්‍ෂකවරයකු යැයි බුද්ධි නිලධාරීහු ස්ථානාධිපතිවරයාට කීහ. ඒ තොරතුරු ස්ථානාධිපතිවරයා අදාළ උසස් නිලධාරීන්ට දැනුම් දුන්නේය. සී.සී.ටී.වී. කැමරා රූපරාමුවල සිටින පුද්ගලයා උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරි බව තහවුරු විය. එහෙත් පොලිස් කණ්ඩායම් ඔහුගේ නිවෙසට එද්දී ප්‍රේමසිරි ගෙදර සිටියේ නැත.

කුරුවිට පොලිසියෙන් ගිය කණ්ඩායම අනාවරණය කරගත්තේ එම නිවෙසේ පදිංචි තරුණියද දින දෙක තුනක් තිස්සේ අතුරුදන්ව ඇති බවය. ඇය ශ්‍රීපාද වන්දනාවේ යන බව කියමින් නිවෙසින් පිටව ගිය බව ඇගේ සොහොයුරාද පොලිසියට කීවේය. එවිට නිලධාරීන් කීවේ හිස නැති මළකඳක් කොළඹ පොලිස් මෝචරියේ තැන්පත් කර ඇති බවත් එය හඳුනා ගැනීමට එහි යන ලෙසත්ය. පසුව ඇගේ සොහොයුරා ඇතුළු ඥාතීහු පොලිස් මෘතශරීරාගාරයට පැමිණ එහි තැන්පත් කර තිබූ සිරුර තම නැඟණියගේ බවට හඳුනා ගත්හ.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා දැනුවත් කෙරුණු අතර ඔහුගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතාගේ මෙහෙයවීම මත පරීක්‍ෂණ ඇරඹිණි. බඩල්කුඹුර පොලිසියට අමතරව වැල්ලවාය, බුත්තල, මොනරාගල, මැදගම, බිබිල පොලිස් ස්ථාන නියෝජනය කරමින් පොලිස් කණ්ඩායම් බඩල්කුඹුර, වෙහෙරගොඩට පැමිණියහ. ඒ උප පොලිස් පරීක්‍ෂකවරයා කොටු කර ගැනීම සඳහාය. ඒත් ඒ වනවිටත් ඔහු සූක්‍ෂ්ම ලෙසින් පොලිසිය මඟහැර නිවෙස පිටුපස ඇති කැලෑවට පැන සිටියේය. පොලිස් කණ්ඩායම් එදින මහ රෑ වනතුරු ඔහු සොයා කැලෑ කොටස පීරුවද ඔහු සොයාගත නොහැකි විය. පසුව නිලධාරීහු ඔහුගේ නිවෙස සෝදිසියට ලක් කළහ.

“මෙයා පළමුවැනිදා රෑ 11.30ට විතර ගෙදර ඇවිත් තියෙනවා. එතකොට කළුපාට බෑග් එකකුත් ගෙනල්ලා තියෙනවා. එයාගේ බිරිය ඒක දැකලා තිබුණා. මෙයා එන වෙලාවේ එයාගේ දුව පාඩම් කර කර ඉඳලා තියෙන්නේ. පස්සේ මෙයා ඇඟපත සෝදගෙන අර ගෙනාපු බෑග්එක අස්කරනවාත් නෝනා දැකලා තියෙනවා. එදා මෙයා නිදාගෙන තියෙන්නේ ලොකු පුතාගේ කාමරේ තනිවම.

පසුවදා උදේ මෙයා බුත්තලට ගිහින් පොලිසියේ ඕ.අයි.සී. මහත්තයත් හම්බ වෙලා ලෝන් ෆෝම් එකකට අස්සනකුත් අරගෙන තියෙනවා. ඕ. අයි. සී. මහත්තයා අහලා තියෙනවා නිවාඩු දාලා මොකටද ආවේ කියලා. බුත්තලින් මෙයා වස කුප්පියකුත් ගන්න ඇති. රෑ තමයි මෙයා ගෙදර ගිහින් තිබුණේ අයිස්ක්‍රීම් වගයකුත් ළමයින්ට අරගෙන. අපේ පොලිසියේ කට්ටිය මෙයා හොයනකොට මෙයා පැන්නා.

අපි ඉන් පස්සේ මෙයා ගෙනාපු බෑග් එකත් හෙව්වා. ඒක තවමත් හම්බවුණේ නැහැ. හැබැයි ගෙදර තිබිලා මෙයා ඇඳගෙන හිටිය ඩෙනිම් කලිසමයි, දාගෙන හිටිය සෙරෙප්පු දෙකයි හොයා ගත්තා” සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා කීවේය.

එන පොට හොඳ නැති බව ප්‍රේමසිරිට වැටහෙන්නට ඇත. ඒ නිසා ඔහු සිය බිරියට ලිපියක් ලීවේය. එහි තමා මෙවන් දෙයක් කරන්නට හේතු වූ කරුණු කාරණා ගැනද ලීවේය. මහ රෑ වන තුරුම බිරිය ඔහු සොයා නිවෙසේ පිටුපස කැලයේ ගත කළාය. එහෙත් ඔහු ගැන කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය.

පසුදාට පහන් වෙද්දී ක්‍රිෂාන්තිට රබර් කිරි කපන්නට ගිය වයසක කෙනකු පණිවුඩයක් කීවේ ප්‍රේමසිරි රබර් ගසක අත්තක එල්ලී මියගොස් ඇති බවය. සිද්ධිය බඩල්කුඹුර පොලිසියට දැනුම් දෙනු ලැබිණි. පොලිස් කණ්ඩායම් සිද්ධිය වූ තැනට පැමිණියහ. උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරි දිවි නසාගත් තැන වස කුප්පියක්ද විය. ඒ අනුව නිලධාරීන් තීරණය කළේ ප්‍රේමසිරි වස බී සිය දිවි හානි කරගෙන ඇති බවය.

ඒ අනුව සිය අනියම් පෙම්වතිය ගෙල කපා මරා ඇගේ හිස කඳෙන් වෙන් කර සිරුර කොටස සූට්කේසයක දමා වේල්ලවීදියට ගෙනැවිත් අතහැර පලාගිය ඇගේ පෙම්වතා වූ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරිද අවසන් ගමන් ගොස් හමාරය.

එහෙත් පරීක්‍ෂණ නතර නොවීය. ඊට ප්‍රධාන හේතුව වූයේ තරුණියගේ හිස කොටස සොයා ගැනීමය. ඒ සඳහා වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වේල්ලවීදිය හා ඒ අවට සැක සහිත තැන් සෝදිසි කළහ. උසස් පොලිස් නිලධාරීන් සැක කළේ ප්‍රේමසිරි මියයන්නට මත්තෙන් ඇගේ හිස කොටස කරේ දමාගෙන සිට බෑගයේ දමාගෙන වේල්ලවීදියට පැමිණෙන්නට ඇති බවය. තවත් කණ්ඩායමක් සැක කළේ තරුණියගේ හිස කොටස කැලණි ගඟට විසි කරන්නට ඇති බවය. තවත් විමර්ශනයක් ඒ අතර ඇරඹිණි. ඒ ප්‍රේමසිරි කොළඹ සිට බුත්තල දක්වා ගමන් ගත් බස් රථය සොයා ගැනීමටය. ඒ පිළිබඳ වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ගැන මෙලෙස සඳහන් කළේය.

“මේ මනුස්සයා ගෙදර ගිහින් තියෙන්නේ රෑ 11.30ට විතර. අපිට මේ සූට්කේස් එක හම්බ වුණේ දවල් 1.30ට කොළඹ ඉඳලා බුත්තලට යන්න අඩු තරමේ පැය හතක් විතර යනවා. මම ඒ වෙලාවට කොළඹින් බුත්තල, මොනරාගල යන බස් චෙක් කළා. බස් කිහිපයක අංකයි ඒ බස්වල ඩ්‍රයිවර්ගේ හරි කොන්‍ෙදාස්තරවරුන්ගේ ටැලිෆෝන් නොම්මර හොයාගෙන මම ඒ අයට කතා කළාම කෙනෙක් හඳුනාගෙන මෙහාට ගෙන්නුවා.

“සර් ඔය කියන දවසේ මම තමයි ඒ බස් එක එළවගෙන ගියේ. ඔය මහත්තයා බස් එකේ ඉස්සරහින් නැග්ගා. කරේ බෑග් එකතුත් තිබුණා. මම මහත්තයාව අඳුන ගත්තා. මම ඇහැව්වා මහත්තයා පොලිසියේ නේද කියලා. එයා ඔව් කියාගෙන බස් එක ඇතුළට ගිහින් මැද සීට් එකක ඉඳගත්තා.

බස් එක තේ බොන්න පැල්මඬුල්ලේ නැවැත්තුවා. එතැනදි මහත්තයා බස් එකෙන් බැස්සද කියලා මට මතක නැහැ. රෑ 11ට විතර බස් එක බුත්තලට ආවා. මහත්තයා බුත්තල තැපැල් කන්තෝරුව ළඟින් බැස ගත්තා.”

මොනරාගල බසය පැදවූ රියැදුරා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේය. ඔහු ස්ථානාධිපතිවරයා හමුවට පැමිණියේ එදින ඔහු කොන්‍ෙදාස්තරවරයා ලෙස සේවය කරමින් පැමිණ සිටියදීය.

ප්‍රේමසිරි නිවෙසට ගොස් තිබුණේ රෑ 11.30ටය. ඒ අනුව මොහු කියන කතාව ස්ථිර කරගන්නට ස්ථානාධිපතිවරයා සී.සී.ටී.වී. කැමරා සෝදිසි කළේය. ප්‍රේමසිරි වතුර බෝතලයක්ද රැගෙන කරේ මල්ලක්ද එල්ලාගෙන මොනරාගල බසයට ගොඩවන අයුරු කැමරාවල සටහන් වී තිබිණි. ඔහු හැඳ සිටියේ රෝස පාට ටීෂර්ට් එකකි. එහෙත් ඔහු වේල්ලවීදියට පැමිණ කාන්තා මළසිරුර සහිත බෑගය රැගෙන එන විට ඇඳගෙන සිටියේ නිල් පැහැති ෂර්ටයකි. ඒ අනුව පොලිසිය නිගමනය කළේ ඔහු කොතැන හෝ ඇඳුම් මාරු කරගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පොලිසිය ඔහුගේ බිරියගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ප්‍රේමසිරිගේ සිරුර තවමත් පශ්චාත් මරණ පරීක්‍ෂණයකට යොමු කර නැත. ඒ ඔහුගේ පී.සී.ආර්. ප්‍රතිඵල ලැබෙන තුරුය. දිලිනිගේ සිරුර විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා ඇගේ මවගෙන් හා සොහොයුරාගේ රුධිර සාම්පල ලබා එම රුධිර ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් හා සසඳන්නට පියවර ගෙන තිබිණි. එම පරීක්‍ෂණයෙන් පසු ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ වාර්තාවක් ලබාගෙන දේහය ඥාතීන්ට භාර දෙනු ඇත.

මේ වනතුරු ඇගේ හිස කොටස සොයාගෙන නැති අතර එය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක්ද, නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාග් මෙහෙයවීම යටතේ හංවැල්ල පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුජිත් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක්ද, නැඟෙනහිර දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳ විමර්ශන පවත්වති.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top