මේ තමයි පළමුවන්නකු වීම සම්බන්ධයෙන්, 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් ට ඉතා නුදුරේදී ම අදාළ කරන්නට පුළුවන් ආකර්ෂණීය කරුණු.
ලොව ප්‍රථමවරට සිවිල් පුද්ගලයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් යෙදෙන අභ්‍යවකාශ මෙහෙයුම සඳහා පසුගිය ජනවාරියේදී මෙම වෛද්‍ය සහයිකාව තෝරා ගැනුණා.
එයින් ඇය ඉතා ප්‍රීති ප්රමෝදයට පත් වුණත්, නිහඬව හිඳින්නට සිදුවුණා.
"මගේ ජීවිතේ ලොකු ම රහස මාස එකහමාරක් තිස්සේ රඳවාගෙන ඉන්න සිද්ධ වුණා. දැන් මට ඒක ලෝකය එක්ක බෙදාගන්න පුළුවන්," යැයි ඇය බීබීසී සමග පැවසුවා.
ඇය මේ ගමනට තෝරා ගැනීම ගැන ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්ෆිස් හි පිහිටි ශාන්ත ජූඩ් ළමා පර්යේෂණ රෝහල විසින් සඳුදා (පෙබ. 23) ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කුඩා කාලයේ පිළිකා රෝගියෙකු වශයෙන් ප්‍රතිකාර ලැබූ එම රෝහලේ ම ආර්සෙනෝව් දැන් සේවයේ යෙදී සිටිනවා.
ඊලොන් මස්ක් නම් ව්‍යාපාරික අධිපතියා බිහි කළ ස්පේස් එක්ස් (SpaceX) සමාගම නිෂ්පාදනය කළ ෆැල්කන් 9 (Falcon 9) රොකට්ටුව මේ වසර අවසානයේදී ෆ්ලොරීඩාවෙන් ඇය අභ්‍යවකාශයට ගෙන යාමට නියමිතයි.
"මං හිතන විදිහට මේ මෙහෙයුම බොහෝ ආකාරවලින් මිනිසුන් ගේ සිත් තුළට කාවද්දාවි, " යැයි කී ආර්සෙනෝව්, "ඕනෑම දෙයක් කළ හැකි බව එය ඔවුන්ට පෙන්වා දේවි." යැයි කියා සිටියා.
මේ අභ්‍යවකාශ යානය තුළ වෘත්තීය ගගනගාමීන් කිසිවෙක් නොඉඳීවි.
ආර්සෙනෝව් හා තෝරාගැනීමේ තරගයෙන් ජයගත් තවත් දෙදෙනෙක් සමග මෙම ගමනේ සම්පුර්ණ පිරිවැය දරණ 38 හැවිරිදි ප්‍රකෝටිපතියෙකු වන ජාර්ඩ් අයිසාක්මන් යානයේ අණදෙන්නා වශයෙන් මේ ගමනට එක්වීමට නියමිතයි.
මේ මෙහෙයුම අයිසාක්මන් තමන්ගේම ව්‍යාපෘතියක් වශයෙන් සලකන අතර රොකට්ටුව දියත්කිරීම තමන් විසින් මිලට ගනු ලැබූ බව පෙබරවාරි 1 වෙනිදා ඔහු ප්‍රකාශයට පත් කළා.
ඔහුගේ අරමුණ මේ ගමන හරහා ඩොලර් මිලියන 200ක (පවුම් මිලියන 142) අරමුදලක් ශාන්ත ජූඩ් රෝහල වෙත එක් රැස් කර දීමයි. ඉන් අඩක් තමන් පෞද්ගලිකව පරිත්‍යාග කිරීමට ඔහු සූදානම්.
අභ්‍යවකාශ යානයේ ඇති ආසන හතරෙන් එකක් පිරිනැමුණේ රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකුටයි.
"මුල ඉඳලම, මේ මෙහෙයුමේ ජීව ගුණය වන බලාපොරොත්තුව නියෝජනය කරන කෙනෙක් යානයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් කිරීමට අපට අවශ්‍ය වුණා," යැයි කී අයිසාක්මන් සඳහන් කළේ, "ඒ වගකීම ඉෂ්ට කරන්නට හේලි ට වඩා හොඳ කෙනෙක් ගැන මට හිතන්න පුළුවන් වුණේ නැහැ." යනුවෙනුයි.
මේ ගමන ආර්සෙනෝව් හට, කෙදිනකවත් සිදුවේ යැයි නොසිතූවක්.
ඇයට වයස අවුරුදු 10 වනවිට, ඈ ශාන්ත ජූඩ් රෝහලේ ප්‍රතිකාර ලැබූ අස්ථි පිළිකා රෝගියෙක්.
රෝහලේදී ලද ප්‍රතිකාරවල කොටසක් ලෙස, කීමෝතෙරපි ප්‍රතිකාරය ලද අතර පාදවල අස්ථි සමහරක් වෙනුවට කෘත්‍රිම අස්ථි යෙදීම සඳහා ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා.
වෙනත් කාලයක නම්, කෘත්‍රිම පාද අස්ථි සහිත වීම හේතුවෙන් නාසා ගගනගාමියෙකු ලෙස අභ්‍යවකාශයට පිවිසීම සඳහා වූ ආර්සෙනෝව් ගේ අපේක්ෂාව ඵල නොදරන්නට ඉඩ තිබුණේ නාසා ආයතනයේ ඇති දැඩි වෛද්‍යමය අවශ්‍යතා හේතුවෙනුයි.
නමුත් මෑත වසරවලදී පුද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවස්ථාව මතුවීම, අප බොහෝ දෙනාට තරු අතරට යාමේ හැකියාව විවර කරලා.
"මේ මෙහෙයුම නොවන්නට මම ගගනගාමියෙක් නොවන්නට තිබුණා," යැයි කී ආර්සෙනෝව්, "ශාරීරික වශයෙන් සර්ව සම්පූර්ණ නොවන පුද්ගලයන්ටත් අභ්‍යවකාශ සංචාරයේ යෙදීමේ ඉඩකඩ මේ මෙහෙයුමෙන් විවෘත කරනවා." යැයි කියා සිටියා.
මෙම මෙහෙයුමට සම්බන්ධ වනවාදැයි විමසමින් ජනවාරි 5 වෙනිදා "හිටි අඩියේ" දුරකථන ඇමතුමක් ලැබෙද්දී ආර්සෙනෝව් සිටියේ ටෙනසී හි පිහිටි සිය නිවසේයි.
ඇගේ ප්‍රතිචාරය? "වහාම මම කිව්වේ, අනේ ඔව්, කරුණාකරලා ඔව්"
ඇගේ පවුලේ සාමාජිකයින් "දැඩි විරුද්ධත්වයක් නොදක්වන බවට කෙරුණු තහවුරු කරගැනීමකින්" අනතුරුව, සහ අභ්‍යවකාශ ඉංජිනේරුවරුන් වන ඇගේ සහෝදරයා සහ නෑනණ්ඩිය "අභ්‍යවකාශ ගමන් කොතරම් ආරක්ෂාකාරීදැයි ඇත්තෙන්ම මට යළි තහවුරු කළා" යැයි පවසමින් ඇය මෙම ගමනේ යෙදෙන කණ්ඩායමට එකතු වුණා.
මීට එක්වන ඉතිරි දෙදෙනා තෝරාගැනීමෙන් පසු ලබන මාර්තුවේදී එය හෙළි කිරීම අයිසාක්මන්ගේ අරමුණයි.
ඉන් එක් අයෙක්, වාසනාව උරගා බලන තරගයකින් ජයග්‍රහණය කරන අයෙකු වන අතර එම තරගයේ පරිත්‍යාග ශාන්ත ජූඩ් රෝහල වෙත පිරිනැමේ.
අනෙක් පුද්ගලයා වන්නේ ශිෆ්ට්4 විසින් නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගය භාවිතයෙන් අන්තර්ජාල වෙළඳසැලක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකයින්ට විවෘත කෙරුණු තරගයකින් ජයගන්නා ජයග්රාහකයාට යි. එම මෘදුකාංගය නිර්මාණය කළ ශිෆ්ට්4 සමාගම අයිසාක්මන්ට හිමි ගෙවුම් තාක්ෂණ සමාගමක්.
තෝරාගැනීම කළ වහා, ශුන්‍ය ගුරුත්වයක කෙරෙන මෙහෙයුම් ආදර්ශනයක් ද ඊට ඇතුළත්, මාස ගණනක දැඩි පුහුණුවකට කණ්ඩායම යොමු කිරීමට නියමිතයි.
මෙම අභ්‍යවකාශ ගමනේ වෛද්‍ය නිලධාරිනිය වන ආර්සෙනෝව් දැනටමත් සිය අභ්‍යවකාශ ඇඟළුමින් සැරසී ඒ ගැන අවබෝධය ලබා අවසන්. එය "හරි අපුරුයි" නමුත් "මම හිතුවට වඩා ඒක බරයි" යැයි කීවාය.
2021 වසරේ අගදී ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වන කාලය වන විට ඇය එම ඇඟළුමට හැඩ ගැසී සිටිය හැකියි.
ඉන් අනතුරුව, ස්පේස් එක්ස් නිපැයූ ඩ්‍රැගන් කැප්සූලය නම් අභ්‍යවකාශ යානය පෘථිවිය වඩා ගමන කරන දින කිහිපය පුරා ඇය එය ඇඟ ලා සිටීවි.
මෙහෙයුම අවසන් කරන ඩ්‍රැගන් කැප්සූලය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට මෘදු ගොඩබෑමක යදෙනු ඇති.
"මම තැතිගැන්මක නැහැ. මෙම මෙහෙයුමේ සෑම අංශයක් සඳහා සිටින ප්‍රධාන ඉංජිනේරුවරුන් සමග මම කතා කළා. ඇත්තෙන්ම මම ඔවුන්ව විශ්වාස කරනවා."
දරුවකු ලෙස සිටි සමයේ මුහුණ පෑ දේ සමග සසඳන විට අභ්‍යවකාශ සංචාරයක් ඇයට ගැටලුවක් නොවෙයි.
"පිළිකා රෝගීන් මෙන්ම ඉන් සුවය ලැබූවන් නියෝජනය කිරීම විශිෂ්ට ගෞරවයක්. මම ඔවුන්ගේ තත්ත්වයේ හිටියේ වැඩි ඈතකදී නොවෙයි" ඇය සඳහන් කළා.
"පිළිකා ප්‍රතිකාර ලබන කාලය තුළ ඔබ වඩාත් අවධානය යොමු කරන්නේ එදිනෙදා තත්ත්වය ගැනයි. අනාගතය දිහාවට බැල්මක් යොමු කරන එක ඉතාමත් දුෂ්කර වෙන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය ගැන පරිකල්පනය කරන්න මේ මෙහෙයුම ඔවුන්ට අවස්ථාව සලසා දේවි"
BBC සිංහල වෙබ් පිටුවෙන් උපුටා ගනූ ලැබූවකී...
