ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වීම් ලැබූ බිම්ෂානි ජාසිං ආරච්චිගේ උසස්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 නෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 18 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ, මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදියි.
මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර ඔහු ඉල්ලා සිටියේ වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිනී බිම්ෂානි ජාසිං ආරච්චි ගේ උසස්වීම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් දෙපාර්තමේන්තුවේ නීති සහය ලබාගෙන නොතිබූ අතර ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ පළමුවන පෙත්සම්කරු ලෙස පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කටයුතු කරන බැවින් නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.
එම නිසා අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ විරෝධතා අද සිට සති 3ක් ඇතුළත ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශවයට අවස්ථාව ලබාදෙන බවයි. ප්
රති විරෝධතා ඇත්නම් එම සති තුන ඉක්ම ගොස් සතියක් තුළ ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිං ආරච්චි පොලිස් කොමිසම විසින් පසුගිය වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට බිම්ෂානි ජාසිං ආරච්චි පත් කර ඇති බව පවසමින්.
මේ අතර, නියෝජ්‍ය පොලිස්පතිනී බිම්ෂානි ජාසිං ආරච්චි පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එමගින් ඇය දක්වා ඇත්තේ මෙම පෙත්සම හා නොතීසි පොලිස් මූලස්ථානයේ නීති අංශයට පසුගිය ජනවාරි මස 16 වන දා හෝ ආසන්න දිනකදී ලැබී ඇති නමුත් තමන්ට එය භාරදීම අදාළ කොට්ඨාශය විසින් චේතනාන්විතව පැහැර හැර ඇති බවට සාධාරණ සැකයක් මතුව ඇති බවයි.
එම නිසා මෙම නඩුව සම්බන්ධයෙන් සිදුකරන සියළු කටයුතුවලින් නඩුවේ පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉවත් කර ලෙස අදාළ ලිපියෙන් දක්වා ඇති බව සඳහන්.