පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ සේවය කළ ඇඹිලිපිටිය - කුට්ටිගල - සූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීමත් සමඟ පුද්ගලයන් 60 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර සඳහන් කළේ අදාළ පුද්ගලයා පසුගිය විසිවනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණි අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.
ඔහු තම නිවසේ සිටින අතරතුරද උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
එමෙන්ම මෙම පුද්ගලයා පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් පෑලියගොඩට පැමිණ ඇති අතර, ඔහු ගමන් ගත් ඇඹිලිපිටිය නගරයේ සුපිරි වෙළඳසැලක්, ස්වර්ණාභරණ අලෙවිසැලක් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මෙන්ම කුට්ටිගල - 42 ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක්ද වසාදමා තිබෙනවා.
මේ අතර පවතින තත්ත්වය සළකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙනතුරු මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.