කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් පැවති උද්ඝෝෂණයක දී වෙඩි පහරට ලක්ව මිය ගිය රොෂේන් ශානකගේ අවසන් කටයුතු ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම යොදා ගනිමින් ඉතා සූක්ෂම ලෙස සිදු කළ බවට මේ වන විට චෝදනා එල්ල වනවා.
ඝාතනයට ලක් වූ තරුණයා සිහි කොට කටුනායක පොලිසිය ඉදිරිපිට විරෝධතාවට එක් වෙමින් ඔහුගේ සොහොයුරු තිලිණ මධුෂාන් මෙම චෝදනාව ඉදිරිපත් කළා.
‘ඇත්තටම මගේ මල්ලි මිය ගිය මොහොතේ සිට අවසන් කටයුතු සිදු කරන තෙක් ඒ සියලු කටයුතු බාර ගෙන කළේ ඇවන්ට් ගාඩ් සමාගම. මම ඇත්තටම හිතුවේ ඇවන්ට් ගාඩ් සමගම ආරක්ෂක සේවයක් කියලා’ ඔහු මාධ්‍ය වෙත එහිදී සඳහන් කළා.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති කම්කරු අරගලයකදී රොෂේන් ශානකට වෙඩි තබා ඝාතනය කළේ මීට සිව් වසරකට ඉහතදීයි.
ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කොට ඇති පරීක්ෂණ කිසිවක් පිළිනොගන්නා බව තම අහිමි පුතු වෙනුවෙන් හතළිස් අටවන වරටත් කටුනායක ඇවරියවත්ත වටරවුමට පැමිණ සිටි රොෂේන්ගේ මව ඩබ්ලිව් එම්එස් කාන්ති කියා සිටියා.