තම පුතා ඝාතනය කළ විත්තිකරුවන් දෙස බලාගෙන තමාට සාක්කි දිය නොහැකි බව පවසමින් ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අහමදීන් මොහොමඩ් සියාම් නැමැත්තාගේ මව කොළඹ මහාධිකරණයේ සාක්කි කූඩුවේ සිට ඊයේ (12) හඬා වැටුණා.
පැමිණිල්ලේ සාක්කියක් ලෙස ලකුණු කර ඉදිරිපත් කර තිබූ මියගිය සියාම් නමැත්තාගේ උප්පැන්න සහතිකය ඔහුගේම උප්පැන්න සහතිකය බවට සනාථ කිරීම සඳහා ඔහුගේ මව වන මොහොමඩ් ඩාවුඩ් උම්මා ෆරීනා මහත්මිය කොළඹ මහාධිකරණය වෙත කැඳවා තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවියගේ සාක්කි මෙහෙයවීම මත අධිකරණ ද්‍රවිඩ භාෂා පරිවර්තකවරයෙකුගේ සහායෙන් මියගිය සියාම් නැමැත්තාගේ මව සාක්කි ලබාදීම සඳහා ඉදිරිපත්ව සිටියා.
තමාට දරුවන් පස් දෙනෙකු සිටින බවත් මොහොමඩ් සියාම් නමැත්තා තම දරුවෙකු බවත් ඔහු 1977 අගෝස්තු මස 30 වැනිදා උපත ලද බවත් පවසමින් සාක්කි දුන් උම්මා ෆරීනා මහත්මිය ඔහු දැනට ජීවතුන් අතර සිටිනවාදැයි නියෝජය සොලිසිටර් ජනරාල්වරිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් පසු ඇය එසේ හඬා වැටෙන්නට වූණා.
මහාධිකරණ විනිසුරුවරුන් වන ලලිත් ජයසූරිය (සභාපති), සරෝජනී කුසලා වීරවර්ධන, අමෙන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ල් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මේ නඩුව විභාගයට ගැනෙනවා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සනත් චන්ද්‍ර හා පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප්‍රියන්ත සංජීව, කැලුම් රංග දිසානායක හා රවිඳු සමීර වාස් ගුණවර්ධන යන විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා තිබෙනවා.
2013 අප්‍රේල් 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කොළඹදී මොහොමඩ් ෆවුස්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරළගේ නමැත්තන් සමග එක්ව මොහොමඩ් අහමදීන් මොහොමඩ් සියාම් නමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණය කරන ලදැයි සියලු විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා තිබෙනවා.