2 Views
ඔබ ගියා කියා අපිට නොකියා
කෙසේ සිතන්නද මා............
මා ගායකයෙක් ලෙසින් මීට 20 වසරකට පෙර ක්ෂෙත්‍රයට පිවිසෙන කල මගේ පළමු ගීතය වූ "වැටෙන් එහා.........." ගීතය මෙන්ම ඉන්පසුව මගේ ජනප්‍රියම ගීත වූ "ඔබෙ සුසුම් පවන් සලයි...........", "පුදසුනක නිසල බව............" සහ "ඩැෆඩිල් මලේ.........." වැනි ගීතයන් ඕගන් වාදනයෙන් රස ගැන්වූයේ ජයන්ත මල්ලි විසිනි. ඡායාරූප ශිල්පියෙක් ලෙසින් ද මා කටයුතු කිරීම ආරම්භ කළ කාලයේම ඔහුගේ බිරිඳගේ මළණුවන්ගේ විවාහ උත්සවය මවිසින් ඡායාරූප ගත කළ අතර එතැන් පටන් මා හා ජයන්ත මල්ලි බෙහෙවින් හිතවත් වූවෙමි. බොහෝ හෘදයාංගම පුද්ගලයෙකු වූ කිසිම දිනෙක තවත් අයෙකුගේ සිත් ඇදගන්නට පුහු ආටෝපයෙන් යුතුව කතාබහ කළ අයෙකු නොවේ. දකින අසන දේ පිළිබඳ හොඳ හෝ නරක සෘජුව ප්‍රකාශ කිරීමට පුරුදු වී සිටි ජයන්ත මල්ලි මා හට දුක් වාචික සහතික දෙකක් අදටත් මගේ හද පතුලේම තැන්පත්ව ඇත. මා එය මෙහි අකුරු කරන්නේ මගේ ආත්ම වර්ණනයට නොව ජයන්ත මල්ලිගේ නිහතමානීත්වය කියාපෑමටය. ඉන් එකක් නම් මෙසේ ය. "මිනිස් මුහුණක් ස්වභාවිකවම ඉන්නවටත් වඩා හොඳට ලස්සනට ගන්න පුළුවන් ඡායාරූපශිල්පියෙක් ලංකාවේ ඉන්නව නම් ඒ දයාන් අයියා පමණයි" බව ඔහු විටෙක පැවසූ අතර එය අදටත් මට මහත් ආශිර්වාදයක් මෙන්ම පුළුල් වගකීමකි. එමෙන්ම මා ගායකයෙක් ලෙසින් කරළියට පැමිණ ජයන්තගේ සංගීතයට සජීවීව ගී ගයන විට ඔහු පවසා සිටියේ "දයාන් අයියා බේතකටවත් අවුට් කියන්නේ නැහැ" කියාය. ඔහුගේ ඒ නිර්ව්‍යාජ ප්‍රකාශයන් අන් කවරදාටත් වඩා අද මට සිහි වන්නේ ඒ සොඳුරු මිනිසා හෝ ඔහුගේ සොඳුරු සිනහව අද අප අතර නොමැති බැවිනි. 2018.08.08 දිනට යෙදුණු ඔහුගේ අර්ධ ශතක ජන්ම දිනය වෙනුවෙන් පවත්වන්නට යෙදුණු ප්‍රසංගයක ගී ගැයීම සඳහා ඔහු මට ආරාධනා කළ ද එදින ගීත පටිගත කිරීමක් මා හට යෙදී තිබූ බැවිනි එයට සහභාගී වීමට මට නොහැකි වූ අතර මා ඔහුට එදින කියා සිටියේ "මල්ලිගේ 50 වෙනි උපන්දිනේ ඡායාරූපයක් ගන්න තිබ්බ නම්" කියාය. එහෙත් එම වසරේම සැප්තැම්බර් 08වන දින මා ඡායාරූප ගත් දෙවැනි ගමන උත්සවයක දී ඔහු මා හට මුණ ගැසුණු අතර "මල්ලි අදට පනහයි මාසයයි නිසා අපි ඡායාරූපයක් ගමු" යැයි පවසා මා ඔහු ඡායාරූප ගත කළෙමි. නිල් පැහැ කමිසයක් හැඳ සිනා මුසු මුහුණින් ඡායාරූප සඳහා එදින මගේ කැමරා කාචයට පෙනී සිටි ඔහුගේ මවිසින් ගත් ඡායාරූප පසුකාලීනව ගිය වසරේ අපි පැවැත්වූ ඔහුගේ උපහාර සංගීත ප්‍රසංගයේ ප්‍රචාරණ කටයුතු සඳහා ද යොදා ගත්තෙමු. නමුත් අද දින ඒ සිනහව සඟවා ගත් ජයන්තගේ නිසල දේහය අද්දර ද මා ගත් ඔහුගේ අමතක නොවන සිනහවෙන් පිරිපුන් සේයාරුව සුදු මල් දමකින් සරසා තබා ඇති අයුරු මා දුටුවේ අප සුහිත් ගායන ශිල්පියෙකු වන රොහාන් ද සිල්වා මුහුණුපොතට එක් කළ සේයා ගොන්නකිනි. ජයන්තව මා අමතන බොහෝ අවස්ථාවන්හි ඔහු නිබඳව පැවසුවේ "අයියේ මට ඒ තරම් අමාරු නැහැ මම හොඳින්" යනුවෙනි. ඔහු මට මෙන්ම අප සැමට කිව්වේ එලෙසිනි. කඳුලු පිරි මුව කැඩපතට පමණක් පෙන් වන්නට හුරුව සිටි ඔහු නිති අප සැමට පෙන්වූයේ සිනහවෙන් පොහොසත් මුව කමලකි. ඔහු අසනීප තත්ත්වයකට පත් වුවද, ඒ සඳහා ඔහුට බෙහෙත් හේත් අවැසි වුවද කිසි දින ඔහු කිසිවෙකුට අතපෑවේ නැත. එය ඔහුගේ අදීන බවයි. ඔහු මා හට කළ එකම එක් ගීත නිර්මාණයකි. එයද බුදු ගුණ ගීතයකි. සසර සැරි සරන තෙක් මෙවන් අකල් මරණයක් ඔබට නොවේවායි පතන අතර මේ යහගුණ සමගින් ඔබට නිවන් සුව වැඩි ඈතක නොවන බව මම දනිමි !!!
දයාන් විතාරණ
======================


