බම්බලපිටියේ විදුහලක ගබඩා කාමරයක් තුළ අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇතත් අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බැවින් මෙය ඝාතනයක් ද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි බවපොලිසිය පවසනවා.
මරණය සම්බන්ධයෙන් සැකපිට ඇය සමග අනියම් සම්බන්ධයත් පැවැත් වූ 52 හැවිරිදි අයකු හා පුද්ගලික ආරක්‍ෂක නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 18 වැනිදා මෙලෙස ඝාතනයට ලක් වී තිබුණේ අගලවත්ත සුමතිපාලගේ චන්ද්‍රිකා සුමතිපාල (45) නමැති මවක් වන අතර 18 හැවිරිදි වියේ පසුවන සිවලිංගම් ජිනුෂිකා හා සිවලිංගම් දිනුෂිකා ඇගේ නිවුන් දරු දෙදෙනායි.
ඝාතනයට ලක් වූ චන්ද්‍රිකාගේ පියා පවසන්නේ අපරාධය කළ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි.
"මම ඉන්නේ කිලිනොච්චියේ. දුව විවාහ වෙලා ඉන්නේ කිරුළපන. දුව මට අලුත් අවුරුද්දට සරමකුයි, ෂර්ට් එකකුයි අරන් දෙන්න එන්න කියලා කෝල් කළා. නමුත් මට එන්න බැරි වුණා. අවුරුදු පහුවෙලා 18 වැනිදා ආවාට පසුව තමයි දුවට මේ වගේ විපතක් වෙලා කියලා දැන ගත්තේ. මගේ රත්තරං දුවව මරපු එවුන්ට නම් හොඳක් සිද්ධ වෙන්න එපා. දුව හැමෝමත් එක්‌ක හොඳින් සිටියා. මේ අපරාධය කරපු එවුන්ට දඬුවම් දෙන්න කියලා පොලිසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. "