19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන එක් නොකර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් අද එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට එළඹුණු බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සහභාගි වී තිබෙනවා. මේ අනුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට පෙර සැළසුම් කර තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 21 සහ 22 යන දෙදින තුළදී විවාදයට ගැනෙනු ඇති.
මැතිවරණ ක්‍රමයේ සිදුකෙරෙන සංශෝධන 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සමඟ ගෙනඑන බවට නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කළා. නමුත් එම සංශෝධන පසුවට ගෙන ඒමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියා.
මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කරන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රාත්‍රියේදීදී රැස්වීමට නියමිත බවයි. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්නේදැයි යන්න පිළිබඳව හෙට දිනයේදී තීරණයකට එළඹෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.