මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් වෙඩි පහරට ලක්විය හැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ඇතැම් ඉන්දියානුවන් වරදවා වටහාගෙන ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.
ඩුබායි හි සමුළුවට සහභාගිවීමට ගිය හිටපු ජනාධිපතිනිය සමඟ ඉන්දීය මාධ්‍යයක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.
එහිදී ඇය කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය හුදෙක් සද්භාවයෙන් සිදුකරන ලද්දක් බවයි.
අනවසරයෙන් තම නිවසට පැමිණෙන ආගන්තුකයෙකුට ලැබෙන සත්කාරය මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්ටද හිමිවිය හැකි බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ.
එය ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට මෙරට නාවික හමුදාවට අවසර ලබාදීමක් ලෙසින් තමිල්නාඩුවේ විරෝධතා පවා පැවැත්වුණා.
ඉන්දීය ධීවර ගැටළුව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග කියා සිටියේ තමිල්නාඩු ධීවරයන්ගේ මසුන් මැරීමේ නීතිවිරෝධී උපක්‍රම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
ඩයිනමයිට් යෙදීම වැනි ක්‍රම හේතුවෙන් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ වන බවද ඇය පෙන්වා දුන්නා.
එය උතුරුකරයේ ධීවරයන්ගේ ජීවිකා වෘත්තියටද තර්ජනයක් ලෙසයි ඇය හැඳින්වූයේ.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව දෙවරක් ඡන්දය භාවිත කළා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග කියා සිටියේ ඉන්දියාව පමණක් නොව වෙනත් රටවලටද ඒ සඳහා සාධාරණ හේතු පැවති බවයි.
පසුගිය රජය සමයේ දෙමළ ජනතාවගේ පමණක් නොව මෙරට සිංහල ජනතාවගේද මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය වූ බව ඇය සඳහන් කළා.