වසර 05 ක කාලයක් තිස්සේ බාල වයස්කාර දැරිවියකට වරින් වර ලිංගික අතවර සිදු කළ බව කියන සැකකරුවෙකුව හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකුවය. පොලිස් ඇමතුම් (119) අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අතවරයට පත්ව ඇති තරුණියගේ වර්තමාන වසය අවුරුදු 16 කි. ඇයගේ පියා මිය ගොසිනි. සැමියා මිය යාමෙන් පසුව තරුණියගේ මව පුරුෂයින් දෙදෙනෙකුව අනියම් සැමියන් ලෙස ඇසුරු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මව දෙවැනි වරට ඇසුරු කළ අනියම් සැමියා බව කියයි.
සැකකරු විසින් සිදු කරන මෙම අපරාධය සම්බන්ධයෙන් දැන ගත් අයෙකු ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත. සැකකාර තම සුළු පියා 2010 වසරේ සිට මව නිවසේ නොමැති අවස්ථා වලදී තමන්ට අතවර කළ බව තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත.අතවරයට පත්ව ඇති තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට යොමු කර ඇත.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.