සිකුරු යෝගය බැලුවද?
අපොයි ඔව්....
මේ විජය නන්දසිරි රඟපෑව අන්තිම චිත්‍රපටයද?
නෑ. අන්තිම චිත්‍රපටයට කලින් චිත්‍රපටය.
එතකොට තව චිත්‍රපටයක් එන්න තියෙනවද?
ඔව්නේ. ඒකෙත් විජය ලස්සනට රඟපානවා.
සිකුරු යෝගය බලනකොට මොනවද හිතුනේ?
විජය අපුරුවට රඟපානවා. ඒ රංගනය ඕනෑම කෙනෙකුට බලාගෙන ඉන්න පුළුවන්. විජය කියන්නේ තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් පුළුවන් උපරිමයෙන් රඟපාන නළුවෙක්. ඒකනේ විජය කා අතරත් ජනප්‍රිය.
නමුත් විජය රිදී තිරයෙන් දකිද්දී ඔයාට හිනා එන්න නැතුව ඇති?
ඒක හරි. විජය කියන්නේ මගේ ආදරණීය ස්වාමියා. ඔහු නැතිව මේ ගෙවන්නේ තුන්වැනි අවුරුද්ද. මේ මුළු කාලය පුරාවටම මට විජය මතක් නොවුණු දවසක් නෑ. ගෙදර හිටියත් ටී.වී බැලුවත් විජයව පේනවා. විජය රඟපෑ ටෙලි නාට්‍ය, චිත්‍රපටි කොච්චර නම් ටී.වීවල පෙන්නනවද?
විජය නැති ගෙදර පාළු අම්බලමක් වගේ ඇති?
කියලා වැඩක් නෑ. නමුත් පුතයි දුවයි, දුවගෙ දුවයි ඉන්න වෙලාවට මට ඒ පාළුව මකාගන්න පුළුවනි.
දුව ඉන්නේ ඕස්ටේලියාවේ නෙවෙයිද?
දුවට පුළුවන් හැම වෙලාවකම ලංකාවට දුවගෙන එනවා. හැබැයි බෑණාට නම් ඒ විදියට ලංකාවට එන්න බැහැ. මොකද ඒ රටවල් ලංකාව වගේ නෙවෙයිනේ. රස්සාවක කරනකොට අව්ව ද වැස්ස ද සීතල ද රස්නෙ ද වසන්‍තය ද ගිම්හානය ද අරවද මේවද කිසිම වෙනසන් නැහැ. වැඩ නම් වැඩ කරන්නම ඕනෑ. ඒ නිසා බෑණාට විවේකයක් නැහැ. හැබැයි ඉතින් දුව පුළුවන් හැම වෙලාවකම එයාගෙ දුවත් එක්කගෙන ලංකාවට එනවා.
මේ දවස්වල දුව ලංකාවෙ?
ඔව්. අගෝස්තු මාසේ විජයගේ තුනවන අනුස්මරණය. ඒ වෙනුවෙන් ඉඳලා තමයි දුව ආපහු යන්නේ.
අනුස්මරණය කිව්වේ විශේෂ වැඩසටහන් තියෙනවද?
ලේ දන් දීමක් තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු පිං කමක්. හදිසි රෝගීන්ට ලේ අවශ්‍ය වුණාම ලේ දෙන එක කොච්චර ලොකු දෙයක්ද? ඒ නිසා අගෝස්තු 11 වෙනිදා කලාපුරේ අපේ ගෙවල්වලට කිට්ටුව තියෙන ශාලාවක මේ පිංකම සූදානම් කරනවා. ඒකට සහභාගී වෙන්න කියලා විජයගේ රසිකයන්ට විවෘත ආරාධනයක් කරනවා. ඊට පස්සේ බණක් කියවලා දානයක් දෙනවා.
මට මතකයි දුවයි පුතයි දෙන්නම රඟපෑවා?
ඒ වුණාට දුවට නම් දැන් රඟපාන්න විවේකයක් නැහැ. දරුවා පුංචියි නේ. එයාව බලාගෙන ඉන්නවා. පුතා රඟපාපු චිත්‍රපටියක් නම් ලඟදීම එන්න තියෙනවා.
විජය නන්දසිරි කියන්නේ නාට්‍ය ලෝකයේ පතාක යෝධයෙක්. විජය නැති වුණාට පස්සේ එයා රඟපාපු නාට්‍ය ඉවරයි කියලත් අපිට හිතුණා. මට මතකයි විජයත් නාට්‍ය වගයක් නිෂ්පාදනය කළා...?
වෘෂභ රාජ, කුස පබාවතී වගේ නාට්‍ය කීපයක් විජය හැදුවා. ඒ නාට්‍යවල මමත් පුතාත් දුවත් රඟපෑවා. ඒ වගේම ඒ නාට්‍ය රසිකයන් ආදරයෙන් වැළඳ ගත්තා.
ඒ නාට්‍ය දැන් කෝ?
පාස්කු බෝම්බෙත් එක්ක වේදිකාවත් පුපුරලා ගියානේ. ඒ අර්බුදය තවමත් විසඳිලා නැහැ. හැබැයි දැන් නම් ටික ටික හරියාගෙන එන බවක් පෙන්වා. කොහොම වුණත් රටේ හටගත් අර්බුදයත් එක්ක වේදිකාව කඩන් වැටුණා.
ඒ කියන්නේ විජය හදපු නාට්‍ය ඉදිරියත් රඟ දක්වනවා කියලද?
අපොයි ඔව්. ඒ කිසිදෙයක් නතර කරන්නෙ නෑ. විජයට කරන සැබෑ ගෞරවය කියන්නේ ඔහු හදපු දේවල් ඉදිරියට අරන් යන එක.
දේවිකා මිහිරානිට ඒ ශක්තිය තියෙනවා?
ඔව්. මගේ දුවගේ පුතාගේ සහයෝගය නොඅඩුවම ලැබෙනවා. ඒ වගේම සහෝදර කලා ශිල්පීන්ගේ ශිල්පිණියන්ගේ සහයෝගයත් ලැබෙනවා. මමවත් විජයවත් කවදාවත් කාගෙවත් හිත් රිද්දලා නැහැනේ. ඒ නිසා අපිට හැමෝගෙම සහයෝගය මිසක අනාදරයක්වත් නෑ.
ශාන්ත කුමාර විතාන