තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී පෙට්‍රල් බෝම්බයක් ද සොයා ගත් බවයි.
ඓතිහාසික රංගිරි දඹුළු රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන්ට මරණ තර්ජන එල්ල කරමින් රුපියල් කෝටි 10 ක කප්පම් මුදලක් ඉල්ලා මාස එකහමාරක පමණ කාලයක සිට දුරකථන ඇමතුම් ලැබී තිබුනා.
අවස්ථා ගණනාවකදී විහාරාධිපතිහිමියන්ට මෙලෙස තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබුනා.
- මම ඉල්ලීමක් ස්වාමි කරා
- ඒකෙ උත්තරේ දෙන්න පුළුවන් ද ?
- මේ වෙලාවෙ අසීරු තත්ත්වයක් තියෙන්නෙ.
- ටික කාලයක් දෙන්න.
- ටික කාලයක් දෙන්න අවස්ථාව නෑ.
- ඒක මං තීරණය කරලා ඉවරයි.
- මොකක්ද ඒ ක්‍රියාදාමය
- මගෙ ඉල්ලීමට කැමති වෙනවද ? නැද්ද ? කියන්න
- අහසින් මවන්න බෑනෙ තියන දෙයක්නෙ දෙන්න තියෙන්නෙ
- මගෙ ජමාඩ් එකේ කෝටි 10 ක් ඉල්ලපු එක කෝටි 5 කට බැස්සුවනෙ
- ස්වාමිට මට කීයක් දෙන්න පුළුවන් ?
- මං ලක්ෂ 5 ක් විතර දෙන්නම්
- හහ්...හහ්... ජමාඩ් එක පාච්චල් කරන්න එපා ස්වාමි.
දිගින් දිගටම ආ මෙවැනි ඇමතුම් හේතුවෙන් විහාරාධිපතිහිමියන් මෙම දුරකථන ඇමතුම් පිළිබදව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාව දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ කප්පම් ඉල්ලා ඇමතුම් ලබාගත් දුරකථන සිම්පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුගේ නමට ලියාපදිංචි කර තිබු බවයි.
ඊයේ රාත්‍රියේ දඹුල්ල ප්‍රදේශයේදී මෙම කප්පම් කල්ලියේ ප්‍රධානියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වන්නේ, 33 හැවිරිදි මිහිදු ගුණරත්න, 19 හැවිරිදි චාමර සුසන්ත හා 25 හැවිරිදි අතුල ජයශාන්ත යන අයයි.
ඔවුන් ඔවුන් දඹුල්ල, ඉනාමළුව, හා කිඹිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනෙකු රංගිරි දඹුල්ල විහාරස්ථානයට යාබද පංන්සලක දැනට සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු බවයි.
මොවුන්, තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට හුවා දක්වමින් විහාරාධිපති හිමියන් බිය ගන්වා කප්පම් ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සතුව තිබී පෙට්‍රල් බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගත්තා.
අදාල සිද්ධිය පිළිබදව අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
VIDEO