"මම මේ රටට ආවෙ මහ භාරතය අතහැරල. මම මුස්ලිම් වුනත් සිංහල බෞද්ධ, කතෝලික, හින්දු මේ හැම කෙනෙක් එක්කම මගේ රුධිරගත බැඳීමක් තිබුණා. මම මුස්ලිම් කියල පැන්නුවේ නෑ. පුතේ සිංහල බෞද්ධයා මා වට කරගෙන ආදරේ කළා. මම හෙට මැරුණත් මේ රටේ අන්තිම සිංහල මිනිහ ඉන්නකල් උඹල බඩගින්නෙ ඉන්නෙ නෑ පුතේ..." කියල මගේ තාත්තා එදා සඳහටම ඇස් දෙක පියාගත්තා.
මේ කතා කරන්නෙ ඉෂාක් බෙග් ය. අල්හාජ් මොහිදින් බෙග් යනු මෙරට සිංහල බෞද්ධ මිනිසුන් වෙනුවෙන් වැඩි පුරම ගීත ගැයූ එකම මුස්ලිම් ජාතිකයාය. බෞද්ධයින් සමරන සෑම පෝයකම වෙනදා වගේම අදටත් ඇහෙන්නේ බෙග් මාස්ටර් ගේ ගීතය.
හැමදාම වෙසක් උත්සවයට දන්සලට බුදු ගුණ කී බෙග් මාස්ටර්ගෙ හඬ අද ඇසේවිද..
බෞද්ධයන්ගේ හදවතේ හැමදාම ජීවත්වන අල්හාජ් මොහිදින් බෙග් අද ජීවත්ව හිටියා නම්?
අද මගේ තාත්ත හිටියානම් එයාගෙ සහෝදර පිරිසට, මේ රටට වුණ මහ විපත දැකල පපුව පැලිල මැරේවි. මගේ තාත්තා ජීවිතේ තමන්ගෙ දරුවන්ට බිරිඳට පස්සෙ ආදරේ කළේ මේ රටට, මේ රටේ බෞද්ධ මිනිසුන්ට. මගේ තාත්තගෙ හඬ මේ රටේ බෞද්ධ මිනිස්සුන්ගෙ ලේ නහරවල ජන ගත වුනේ අන්න ඒ ආදරේ නිසා. තාත්තගෙ හඬ ඒ ගීත මිනිස්සුන්ට අමතක වෙලා නැහැ. ඒත් රටේ තියෙන නොසන්සුන් තත්වයත් එක්ක බොදු බැති ගී වෙසක් උත්සව සියල්ලම අවලංගු වුණා. වෙනදා වෙසක් කිට්ටු වෙනකොට මිනිස්සුන්ගෙ මූණෙ තියෙන හිනාව මෙදා පාර නැහැ. ඒත් හැම ගෙදරකම කූඩුවක් හදල පහනක් පත්තු කරන්න. ඒ ආලෝකයෙන් සාමය උදා වේවා කියල ප්‍රාර්ථනා කරන්න.
ඉස්සර සිංහල, බෞද්ධ,මුස්ලිම්, කතෝලික කිව්වම එකම ජාතියක් විදියට මේ රටේ ඇතුළේ ලොකු සමඟියක් තිබුණා.
ඔව් ඒක ඇත්ත ඒ සමඟියට හොඳම උදාහරණය මගේ තාත්තා. මගේ තාත්තා මිය ගිහින් අවුරුදු ගාණක් වෙලත් අදටත් හැම පන්සලකම ඇහෙන්නෙ තාත්තා ගායනා කරපු " බුද්ධං සරණං ගච්ඡාමි, බුදුන්ගේ අමා ධර්මේ ගීත. මගෙ තාත්තා එක ජාතියකට එක ආගමකට පමණක් ගී ගැයුවේ නෑ. ඔහු ගීතවලින් මුළු සමාජයටම පණිවිඩයක් දුන්නා.
ඇයි ඔබේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක් වෙලත් බෞද්ධයන් වෙනුවෙන් ගී ගැයුවේ?
මගේ තාත්තා විරයෙක් වගේ ලංකාවට එන්නෙ 1931 හමුදා නිලධාරියෙක් විදිහට. ඔහු ගායකයෙක් වුණේ අහම්බෙන් සිංහල වචනයක් බැරි තාත්තා මේ බෞද්ධ රටේ " කරුණා මුහුදේ නාමු ගිලීලා" ගීතය ගායනා කළාට පස්සෙ "මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ" රසිකයෝ මේ හඬ කාගෙද කියල හොයන්න ගත්තලු. මම දන්නෙ නෑ ඇයි අපේ තාත්තා බෞද්ධ ගීත ගායනා කළේ කියලා. හැබැයි ඔහු හැම වෙලාවෙම කිව්වෙ අල්ලා දෙවියන් වගේම බුදුරජාණන් වහන්සේත් දේශනා කළේ ජනතාව සුවපත් කරන එකම ධර්මය කියලා...
1987 පකිස්ථාන ජනාධිපති සියාවුල් හක් ලංකාවට ආපු අවස්ථාවක තාත්තට ආරාධනා කළා පවුලම එයාගෙ රටට එන්න පදිංචියට කියලා. අම්මා කැමති වුනත් තාත්තා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අබෞද්ධයෙක් වුනත් මගේ තාත්තට සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කැක්කුමක් ආදරයක් තිබුණා. මගේ තාත්තා වැඩිපුරම ජීවිතේ කැප කළේ බෞද්ධ මිනිසුන් වෙනුවෙන්.
මේ වෙලාවේ අපි මොකද කරන්න ඕන?
'මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ..' කියල එදා මගේ තාත්තා ගී ගැයුවේ, ගයන්න ඇත්තේ එයාගෙ හිතට මොනව හරි දැනිලද කියල මට වෙලාවකට හිතෙනවා. ජාතිය ආගම කුමක් හෝ වේවා රට විනාශ වෙන්නෙත්, රටක සාමය පැවතෙන්නෙත් රටක මිනිසුන්ගෙ චර්යාව, ගති පැවතුම් මත. මොන ආගමේ වුණත් නිදහසේ හුස්ම ගත්ත රට විනාශ කරන්න උත්සහ ගන්නවා නම් ඔවුන්ට ඒ දඬුවම මේ ආත්මයේදීම ලැබෙනවා. මුස්ලිම් ආගමේ මිනීමරලා අපරාධ කරලා කවදාවත් ස්වර්ගයට යන්න බැහැ, ඒ මතය බොරුවක්. අපේ මුස්ලිම් ආගමේ අයට කලා කටයුතු කරන්න තහනම්. ගීත ගයන්නට බැහැ. ඒත් මගේ තාත්තා කිව්වෙ අපි හදවතින් දෙයක් කරනවානම් කවදාවත් වරදින්නෙ නෑ පුතේ කියලා.
අදටත් වැඩිපුරම අපි ඇසුරු කරන්නේ බෞද්ධ ජනතාව. කවදාවත් බෞද්ධ, කතෝලික ජනතාව එක්ක අපි ගැටුම් ඇති කරගෙන නැහැ. අද වෙනකම් අපිව ජීවත් කරවන්නෙ දුක සැප හොයල බලන්නේ ඒ ආඩම්බරකාර ජනතාව. මගේ පියාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබුනෙත් බුද්ධං සරණං ගච්ඡාමි ගීතය ගායනා කළාට පස්සේ.
මේ සින්දුව කියනවා නැත්තම් මම මැරෙනවා කියල තමයි ලෝකයේ දිගම බෞද්ධ ගීතය "බුද්ධං සරණං ගච්ඡාමි " ගීතය තාත්තා ගායනා කළේ. එයා ඒක භාරගත්තේ දෙවියන් දීපු දායදයක් විදිහට.
තාත්තා මැරෙන මොහොතෙදිත් කිව්වෙ මගේ නම අමතක වෙන්න දෙන්න එපා. මගේ ගීත ටික කියපන් පුතේ කියලා. බෞද්ධ මිනිස්සු වෙනුවෙන් මමත් මැරෙනකල් ගීත ගායනා කරනවා. එදා මගේ තාත්තා මරක්කල කියල එලෙව්වෙ නැහැ. බෞද්ධ මිනිහගේ හදවතේ ගායකයා වුණේ මගෙ තාත්තා. තාත්තා නැතිවුණ වෙලාවේ වැඩිපුරම ඇඬුවේ බෞද්ධ ජනතාව සහ භික්ෂූන්වහන්සේලා.
තාත්තා මැරුණ වෙලාවේ බෞද්ධ මිනිස්සු කෑ ගැහුවේ බෙග් මහත්තයෝ කවදද ආයෙත් මේ ලෝකෙට එන්නෙ කියලා. මුස්ලිම් ජාතිකයෙක් වුණ මගේ තාත්තා එදා මැරුණ වෙලාවේ එදා මුළු ලංකාවම ඇඬුවා. මගේ පියා කොහේ හෝ ඉඳගෙන බලාගෙන ඉන්නව නම් මම ඉල්ලන්නෙ එක දෙයයි. මේ රටේ මිනිස්සුන්ගෙ දුක කඳුල නිවාලන්න, සෑම හදවතකම සාමය ඇති කරන්න ආශිර්වාද දෙන්න. මගේ තාත්තා මේ රටේ මිනිස්සුන්ගෙ ඇස්වලින් කඳුළු වැටෙනවා දකින්න කවදාවත් කැමති වුණේ නැහැ. ජීවත්ව හිටියා නම් එයාට ඒ දුක දරාගන්න බැරි වේවි.
මේ රටේ ජීවත්වන සිංහල බෞද්ධ, කතෝලික්, හින්දු සියළුම දෙනාට අපි ආදරෙයි. අපේ තාත්තා අපිට ඉගැන්නුවේ බඩගින්නේ හිටියත් උඹලා සහජීවනයෙන්, ආදරයෙන් හැමෝම එක පවුලක් වගේ මේ රටේ ජීවත් වෙයල්ල කියලා. අත් දෙක එකතු කරලා කියන්නේ මේ අහිංසක රට විනාස කරන එපා. මිනීමරලා කාටවත් ස්වර්ගෙට යන්න බැහැ.
ඔබ පවුලේ සහෝදර සහෝදරියන් ඉගෙන ගත්තේ මුස්ලිම් පාසල් වල.. ඇයි ඔබේ දරුවන් සිංහල පාසලකට යවන්න හිතුවේ?
ඔව් අපි ඉගෙන ගත්තේ මුස්ලිම් පාසල්වල. ඒත් මට ඕන වුණේ මගේ දරුවන්ව සිංහල පාසලකට යවන්න. එයාල පාස් වෙනවද ෆේල් වෙනවද කියන එක නෙවෙයි මට ඕන වුණේ. එයාලවත් මේ රටේ බෞද්ධ සිංහල දරුවන් විදිහට හදන්න. ඒකයි එයාලව මම බෞද්ධ පාසල්වලට යැව්වේ..