ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙස රෝගාතුර වුණා. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාද කියතොත්, ඔහු මෙලොවින් සමුගත් බවට වන ප්‍රචාරයන් පවා ඒ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර ගියා. මේ ප්‍රවීණ රංගධරයා අසාධ්‍ය තත්ත්වයෙන් මිදී ඉක්මනින්ම නැවතත් සුපුරුදු පරිදි දිවි ගෙවනවා දැකීමයි හැමෝගේම බලාපොරොත්තුව වුණේ. එම ප්‍රාර්ථනාවත් සඵල කරමින් ඔහු මේ වනවිට සුවය ලබා සිය නිවසෙහි විවේකීව කාලය ගත කරනවා. සුවය ලැබිමෙන් අනතුරුව අමරසිරි කලංසූරිය මහතා ඔහු ගැන මෙහෙම කියනවා.
අමරසිරි කලංසූරිය කියන ප්‍රවීණ රංගන ශිල්පියා ලෙඩ ඇඳේ කියන ආරංචිය පැතිර ගියාට පස්සේ හැමෝම හොයන්න පටන් ගත්තා ඔබට මොකද වුණේ කියලා. ඇත්තටම ඔබට මොකද වුණේ ?
ඇත්තටම මට මොනවා වුණාද කියලා මමවත් හරියට දන්නේ නැහැ. මොකද හිතපු වත් නැති විදිහට තමයි මාව අසනීප වුණේ. මට මුලින්ම ඇති වුණේ කැස්සක්. රෝහල් ගත කළාට පස්සේ අසනීප තත්ත්වයන් උත්සන්න වෙන්න පටන්ගත්තා. දවස 21 ක් 22ක් විතර හරියටම සිහි කල්පනාවක් පවා නැතුවයි මම හිටියේ.
දැන් ඔබ ඒ අවදානම් තත්ත්වයන්ගෙන් මුළු මනින්ම මිදිලයි ඉන්නේ ?
ඔව්, වාසනාවකට මගේ අසනීප තත්ත්වය සුව අතට හැරුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් පිටවෙලා කෙළින්ම මම මගේ ලොකු දුවගේ ගෙදරටයි ගියේ. ආයෙමත් අපේ ගෙදරට ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. දැන් මට ඇවිදින්න එහෙම පුළුවන්.
කලාකරුවෙක් විදිහට ඔබට කොතරම් පිරිසක් ආදරය කරනවාද කියන එක අසනීපයෙන් සිටි වෙලාවේ ඔබට දැනෙන්න ඇති නේද?
අනේ ඔව්, මාව බලන්න ගොඩක් අය රෝහලටත් ඇවිත් තිබුණා. ඒ අතරේ කලාකරුවොත් හුඟක් හිටියා කියලා අපේ ගෙදර අය මට කිව්වා. විදේශ රටවලින් හුඟ දෙනෙක් කතාකරලා මගේ සුව දුක් විමසලා තිබුණා. රසික රසිකාවියෝ වගේම කලා ක්ෂේත්‍රයේ හැමෝමත් මට ආදරේ බව මම දන්නවා. ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා, මා ගැන සොයා බලපු එක ගැන.
රෝහල්ගත වෙලා සිටි කාලයේ ඔබ ගැන විවිධ අසුබ ආරංචි පවා පැතිරිලා ගියා. ඒ ගැන ඔබ දැනුවත්ද?
මම හිටපු තත්ත්වයේ හැටියට අද මම ජීවතුන් අතර ඉන්නා එක ගැනත් හුඟක් අයට පුදුමයි. මගේ ජීවිතය නැතිවෙලා කියලත් ඒ දවස්වල ආරංචි පැතිරිලා තියෙනවා. සුවවෙලා ගෙදර ආවාට පස්සේ තමයි ඒ විදිහේ ආරංචි ගැන ගෙදර අය මට කිව්වේ. හැබැයි ඒක මට අලුත් දෙයකුත් නොවෙයි. මොකද මීට අවුරුදු 15කට 20කට කලිනුත් කිහිප වතාවක්ම මම මිය ගිහින් කියලා ආරංචි පැතිරිලා තිබුණා. මාධ්‍යවලින් පවා අපේ ගෙදරට දුරකථන ඇමැතුම් දීලා විමසලා තිබුණා ඒ ආරංචිය ඇත්තද කියලා. මේ වතාවෙත් නැවතත් ඒ විදිහේ බොරු ආරංචියකට තමයි හුඟදෙනෙක් රැවටිලා තිබුණේ.
සුවය ලැබුවට පස්සේ ජීවිතය ගැන හිතලා බලද්දී ඔබට දැන් දැනෙන්නේ මොන විදිහේ හැඟීමක්ද?
මගේ වයසේ හිටපු හුඟ දෙනෙක් පහුගිය කාලේ ජීවිතයෙන් සමුගත්තා. ඊළඟට එන්නේ මගේ වාරයදෝ කියලා චකිතයකුත් මගේ හිතේ ඇතිවෙලා තිබුණා. හැබැයි ඉතින් ඉපදෙන සහ මැරෙණ එක ලෝකයේ ස්වභාවයනේ. ඒ ගැඒ අභාවයන් දකිද්දී, න හිතලා මම දැන් හිත හදාගෙනයි ඉන්නේ.
ඔබ නැවතත් රංගන කටයුතු ආරම්භ කරාවි කියලා ඔබට ඇළුම් කරන හැමෝම බලාගෙන ඉන්නවා. ඒ අයට සුබ ආරංචියක් දෙන්න ඔබට පුළුවන්ද?
තවම මම ප්‍රතිකාර ගන්නවා. වෛද්‍යවරු කියනවා ඉක්මනින් මට පූර්ණ සුවය ලැබේවි කියලා. මම හිතන්නේ තව සතියකින් දෙකකින් විතර මගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන්ම හොඳ අතට හැරේවි. ඊට පස්සේ මම වෙනදා වගේ ආයෙමත් රඟපෑම් පටන් ගන්න ආසාවෙනුයි මම ඉන්නේ.
කිෂාන් කනංකෙ