විනු සිරිවර්ධන කියන්නේ රුවැත්තියක්. ඒ නිසාම පුංචි තිරයට සිනමාවට ඇයගේ රංගන හැකියාව පෙන්වන්නට ඇයට ආරාධනා ලැබෙනවා. විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන විනු ඇය ගැන මෙහෙම කතා කරනවා.
මේ දිනවල ඔබ හරි කාර්යබහුල චරිතයක් වෙලා නේද?
ඔව්, මේ දිනවල ගොඩක්ම කාර්යබහුල වෙලා තියෙන්නේ ටෙලිනාට්‍ය කිහිපයකම ඉන්න නිසයි.
චිත්‍රපටවලට දායක වුණේ නැද්ද?
චිත්‍රපට කිහිපයක් සඳහා නම් දායක වුණා. හැබැයි ඒ දේවල් බලන්න වැඩිපුර කාලයක් බලාගෙන ඉන්න වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඊට අමතරව සුනෙත් කුමාර අධ්‍යක්‍ෂණය කරපු අහස් පාලම කියන ළමා චිත්‍රපටය එන්න තියෙනවා. ලංකාවේ ළමයින්ට වෙන්වුණු චිත්‍රපට හරි අඩුයිනේ. මේ අවුරුද්දෙ දෙසැම්බර්වල නිවාඩු කාලයේදී බලාගන්න හැකියාවක් ලැබේවි. ඊට අමතරව චිත්‍රපට දෙකක රූගත කිරීම් කරලා තියෙනවා. අවසන් කරලා නැහැ. ඒ දේවල් කොයි කාලයේ තිරගත වෙයිද කියලා දන්නේ නැහැ. ඉතිං ඒ දේවල් තිරගත වෙනකල් තමයි බලාගෙන ඉන්නේ.
සීමිත ටෙලිනාට්‍යවලට පමණක් දායක වෙන්නේ ඇයි?
මම සාමාන්‍යයෙන් චරිතයක් තෝර ගන්න කොට සලකා බලන කරුණු තියෙනවා. ඊට අමතරව චරිතයක් බාර ගත්තොත් ඒ චරිතයට සාධාරණයක් කරන්න සීමාවල් පනවා ගන්නේ නැහැ.
සීමා නිසා ඒකාකාරී චරිතවලට කොටු වෙන්නේ නැද්ද?
නැහැ. ඇත්තටම නැහැ. මම චරිතවලට කොටුවෙලා නැහැ. නමුත් ඉතිං ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ තරුණ යුවතියන්ගේ චරිතනේ. ඒවායේ තියෙනවා එක එක වයස් මට්ටම්, පවුල් පසුබිම, අධ්‍යාපනය හෝ රැකියාවක් එක්ක ලැබෙන චරිතයත් වෙනස් වෙනවා. ඉතිං එකිනෙකට වෙනස් චරිත වාසනාවකට හෝ මට ලැබෙනවා කියලා තමයි මම හිතන්නේ.
අද බොහෝ දෙනා කෙටි කාලයෙන් ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා නේද?
අදහසක් කියන්න හරි අමාරුයි. මමත් ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේදී මම දායක වුණු නිර්මාණවලට ආදරය කළා. හැබැයි අපට ඒ ජනප්‍රියත්වය ලැබෙනවා මිසක් ජනප්‍රියත්වය පස්සෙන් යෑමක් කරන්න අමාරුයි. ඉතිං අපට නියම තැන, සුදුසු තැන ලැබෙනකල් හිමින් යන ගමන තමයි දීර්ඝ කාලීනව රඳා පැවැත්ම තියෙන්නේ කියලා තමයි මම නම් හිතන්නේ.
අද වෙද්දි ඔබේ ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ක්‍ෂේත්‍රය ගැන කතා කළොත්, මේ දෙයට එන්න පෙර තිබුණු අදහසට වඩා ක්‍ෂේත්‍රයට ආවට පස්සේ දැනුණා එක එක්කෙනා අතර තියෙන සහයෝගය, සහෝදර බැඳීම කියන දේවල්. මේ කාරණා එක්ක අපේ ක්‍ෂේත්‍රයේ හැමෝම අතරේ හොඳ සහෝදර බැඳීමක් තියෙනවා. නිර්මාණ අතින් ගත්තාම, හොඳ නිර්මාණ බිහි කරන්න බොහෝ දෙනාට සම්පත් දායකත්වය මදියි. ඊට අමතරව හොඳ නිර්මාණ බිහි වෙනවා.
ආපු ගමන ගැන තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම ඔව්, මම තෘප්තිමත්.
සම්මාන සඳහා සිහිනයක් නැද්ද?
සිහිනයක් නැහැ කියන්නත් බැහැ. එහෙම වුණාට ඒ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුත් නෙමෙයි. ලැබෙන හොඳ නිර්මාණ, චරිත බාර ගන්නවා. ඒවාට සම්මානයකින් ඇගයීමක් නොලැබුණත්, හැමදාමත් අපේ ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් සහ ප්‍රේක්‍ෂකයන්ගේ ඇගයීම ලැබීම සතුටුයි.
හැමදාම රංගනය කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
වැඩිපුරම කාලය ගත වෙන්නේ රංගන ක්‍ෂේත්‍රයේ. ඊට අමතරව මම නිරූපණ ක්‍ෂේත්‍රයෙත් ඉන්නවා. ඉතිං ඒ නිසා මම එක ක්‍ෂේත්‍රය ඉන්නවා කියන්න අමාරුයි. ව්‍යාපාරික පැත්තටත් යොමු වෙන්න අදහසක් තියෙනවා.
ජීවිතේ හීන ගොඩක් තිබුණු කෙනෙක් නේද?
ඔව්. මුල්ම කාලයේ තිබුණෙ වෛද්‍යවරියක වීමේ අදහසක්. උසස් පෙළ කරද්දී වාණිජ අංශය තෝරා ගත්තා. එතකොට බැංකු ක්‍ෂේත්‍රය තමයි ඊළඟ හීනෙ තිබුණේ. ඒක වෘත්තියක් විදියට කරන්න. නමුත් අහඹු ලෙස 2012 'මිස් ශ්‍රී ලංකා' කිරුළ ලැබීමත් එක්ක රංගන ක්‍ෂේත්‍රය ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව ලැබුණා සහ ඒ දේවල් හොඳ අතට හැරුණා කියලා අදහසක් තියෙනවා.
කිරුළ පැලඳි කෙනෙක් විදියට මොකද හිතෙන්නේ ඒ දේවල් ගැන?
කිරුළක් පලඳින්න දක්‍ෂතාව සහ වාසනාව තියෙන්න ඕන. මෙතෙක් ආව 'මිස් ශ්‍රී ලංකා' කට්ටියගෙන් මම දකින්නේ, මමයි, තමයි මේ ක්‍ෂේත්‍රය තුළ නමක් දිනාගෙන වැඩකටයුතු කරන්නේ.
ඉදිරි බලාපොරොත්තු?
රංගන ක්‍ෂේත්‍රයේ ලැබෙන හොඳ නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම දැනටමත් හොඳ සිනමා නිර්මාණවලටයි දායක වුණේ. ඉදිරියේදීත් මගේ තිරගත වෙන්න තියෙන නිර්මාණත් තියෙනවා. මගේ අදහසක් තියෙනවා 'විලාසිතා නිර්මාණ' පැත්තට. ගොඩක් දෙනා මගේ විලාසිතා ගැන කතාබහ කරනවා. ඒ නිසා විලාසිතා පැත්තෙන් වෙනසක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.