ගල්කිරියාගම පොලිස් වසමේ ගල්කිරියාගම - නෑගම්පහ මාර්ගයේදී වන අලියකු විසින් සිදු කරන ලද පහරදීමකින් පෙර පාසල් දැරියක මියගොස් අවුරුදු 2 ක් වයසැති ඇගේ නැගණිය සහ මිත්තනිය බරපතළ තුවාල ලැබුවා.
මියගිය දැරිය මිත්තනිය සමග පෙර පාසලට යමින් සිටියදී ඊයේ (19 වැනිදා) මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා. මිත්තනිය විසින් දෙහැවිරිදි දැරිය ද මෙහිදී වඩාගෙන ගොස් තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම නෑගම්පහ පදිංචිව සිටි නිරුපමා ලක්‍ෂානි 4 හැවිරිදි දැරියක්.
සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය සහ දෙහැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වල් අලි ගැටලුව සම්බන්ධව ප්‍රදේශවාසීන්ගේ විරෝධය වනජීවී නිලධාරීන්ට එල්ල වුණු අතර පලාගල වැඩබලන කැකිරාව ප්‍රාදේශීය මහ ලේකම් අතුල සෙනරත් බණ්‌ඩාර මහතා සිද්ධිය වූ ස්‌ථානයට ගොස් පරීක්‍ෂා කර බලා මාර්ගය දෙපස කැලෑව එළිපෙහෙලි කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.
එමෙන්ම මියගිය පෙර පාසල් සිසුවියගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සියලුම උදව් සහ රජයෙන් ලබාදෙන රුපියල් පනස් දහසක මුදල එදිනම ලබාදීමට ප්‍රාදේශීය මහලේකම්වරයා කටයුතු කර තිබෙනවා.