පාකිස්ථානයේදී සිදු වූ හදවත නතර වෙන සුළු දරුණු හිම කන්දක් කඩා වැටීමේ අනතුරකින් නිර්මාල් පුර්ජා ඇතුළු කඳු නගින්නන් 10 දෙනෙකුම මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි ඔහුගේ සංචාරක සමාගම විසින් නිල වශයෙන් තහවුරු කර ඇත්තේ.
පසුගිය බ්‍රහස්පතින්දා ලොව 12 වන උසස්ම කඳු මුදුන වන, මීටර් 8,051 ක් උස ‘බ්‍රෝඩ් පීක්’ (Broad Peak) කඳුවැටිය අභියෝගාත්මක ලෙස තරණය කරමින් සිටියදීයි මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුව ඇත්තේ.
මෙම අනතුරින් මියගිය 10 දෙනා අතර නේපාල ජාතිකයන් 06 ක් , අමෙරිකාව, ඕමානය, චීනය සහ පාකිස්ථානය එක් අයෙකු බැගින් නියෝජනය කළ දක්ෂ කඳු නගින්නන් පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
2019 වසරේදී ලොව උසම කඳු ශිඛර 14ම මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළත තරණය කරමින් ලෝක වාර්තාවක් තබා මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට මොහු සමත් වුණා. නවීන කඳු තරණ ඉතිහාසයේ පහළ වූ අතිවිශිෂ්ටතම සහ නිර්භීතම කඳු නගින්නෙකු ලෙසයි නිර්මාල් පුර්ජා හැඳින්වෙන්නේ.
මෙම දරුණු අනතුර සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.