කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා රියෝ ද ජැනයිරෝ හි සුප්‍රසිද්ධ කොපකබානා (Copacabana) වෙරළ තීරයට මිලියන 2කට අධික ජනකායක් රොක් වූ බව නගර බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
මෙය ඇයගේ ගායන ජීවිතයේ මෙතෙක් පැවැත්වූ විශාලතම ප්‍රසංගයයි.
රියෝ හි සුප්‍රසිද්ධ වෙරළ තීරයේ පැවැත්වෙන මෙවැනි දැවැන්ත ප්‍රසංග නගරයට විශාල ආකර්ෂණයක් වී ඇති අතර, මෑත වසරවලදී මැඩෝනා සහ ලේඩි ගාගා ද කොපකබානා පැලස් හෝටලය ඉදිරිපිට මෙවැනිම දැවැන්ත ප්‍රසංග පවත්වා තිබෙනවා.
මැයි මාසයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන "Todo Mundo no Rio" උළෙල වෙත දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම ප්‍රසංග වැඩි වැඩියෙන් භාවිත වී ඇති බව සඳහන්.
ප්‍රසංගය ආරම්භයේදී ඩ්‍රෝන යානා මගින් වෙරළ තීරයට ඉහළින් ශකීරාගේ සංකේතයක් වන වෘකයෙකුගේ (Wolf) රුවක් ප්‍රදර්ශනය කළ අතර, ඇය පෘතුගීසි භාෂාවෙන් ජනතාව අමතා තිබෙනවා.
"බ්‍රසීලය, මම ඔබට ආදරෙයි. ගායනයට, හැඟීම්වලට සහ නැටුමට ලැදි මිලියන සංඛ්‍යාත ජනතාවක් එකට එක්වී, සැබවින්ම වැදගත් වන්නේ කුමක්දැයි ලොවට මතක් කර දෙනු දැකීම ඇත්තෙන්ම මායාවක් වැනිය," යනුවෙනුයි ඇය පවසා ඇත්තේ.
ඇය විසින් "Hips Don't Lie," "Antologia" සහ 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වූ "Waka Waka" ඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ගායනා කළා.
එමෙන්ම ඇය සමග ගායනයෙන් එක්වීමට බ්‍රසීලියානු තරු වන ඇනිටා (Anitta), කේටානෝ වෙලෝසෝ (Caetano Veloso), මරියා බෙතනියා (Maria Bethania) සහ ඉවෙටේ සංගාලෝ (Ivete Sangalo) වේදිකාවට පැමිණ තිබෙනවා.
නගර බලධාරීන්ගේ ඇස්තමේන්තුවට අනුව, මෙම ප්‍රසංගය හරහා හෝටල්, අවන්හල්, ප්‍රවාහන සහ වෙළෙඳාම යන අංශවලට රියායිස් මිලියන 800ක ආදායමක් ලබා ඇති අබව සඳහන්.
"Todo Mundo no Rio" උළෙල අවම වශයෙන් 2028 වසර දක්වා නගරයේ නිල උත්සව දින දර්ශනයේ පවතිනු ඇති බව රියෝ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
-රොයිටර්ස්-