බටහිර ඕස්ට්‍රේලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය (Harry Perkins Institute of Medical Research) විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනය මේ වන විට ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇති අතර, මී මැසි නිෂ්පාදන ඖෂධ ලෙස භාවිත කිරීමේ ඉතිහාසය වසර 5,000කට වඩා පැරණි වෙන බවයි වාර්තා වෙන්නේ.
නූතන විද්‍යාඥයන් විසින් එය පිළිකා මර්දනය සඳහා නව මාවතකට යොමු කර තිබෙනවා. මෙම පර්යේෂණයේ විශේෂත්වය වන්නේ මී මැසි විෂෙහි අඩංගු 'මෙලිටින්' (Melittin) නම් ප්‍රබල සංයෝගය සතු සුවිශේෂී හැකියාවයි.
මෙලිටින් සංයෝගය මගින් පිළිකා සෛල වර්ධනය අඩාල කරනවා පමණක් නොව, එම සෛල සම්පූර්ණයෙන්ම විනාශ කිරීමටද සමත් වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබුණා.
මෙම පිළිකා සෛල පාලනය කිරීමට මී මැසි විෂට ඇති හැකියාව විද්‍යාගාර පරීක්ෂණ මගින් සනාථ වී තිබෙනවා.
විද්‍යාගාර අත්හදා බැලීම්වලදී නිරීක්ෂණය වී ඇත්තේ 'මෙලිටින්' සංයෝගය මගින් පිළිකා සෛල වෙත "මියයන ලෙස" සංඥා නිකුත් කරන බවයි. මීට පෙරද මෙලනෝමා (Melanoma) වැනි චර්ම පිළිකා සඳහා මී මැසි විෂ හිතකර බලපෑමක් ඇති කරන බව සොයාගෙන තිබුණා.
"මෙය තවමත් පවතින්නේ සායනික පරීක්ෂණවලට පෙර (Preclinical) අවධියේයි. මිනිස් සිරුරට මෙය ආරක්ෂිත බව තහවුරු කිරීමට තවත් පර්යේෂණ අවශ්‍ය වේ." යැය්ඊ විද්‍යාඥයන් පවසනවා.
කෙසේ වෙතත්, මී මැසි විෂ මගින් සෛල පටලවලට හානි සිදු විය හැකි බැවින්, රෝගියාට හානියක් නොවන පරිදි එය සමබර ඖෂධයක් ලෙස නිපදවීමට විද්‍යාඥයන්ගේ අවධානය යොමුව ඇති අතර, මෙම සොයාගැනීම සාර්ථක වුවහොත්, අනාගතයේදී පිළිකා රෝගීන්ට වඩාත් පහසුවෙන් දරාගත හැකි නවීන ප්‍රතිකාර ක්‍රම බිහි වනු ඇතියි.
ලොව පුරා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පියයුරු පිළිකා රෝගීන්ට මෙම නව සොයාගැනීම අලුත් බලාපොරොත්තුවක් ගෙන දී තිබෙනවා.