එහෙනම් මේ ගැන දැන ගන්න එක වටිනවා.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSMEs) සහන පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අරමුදල් සපයන ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟලුම් සහ විවිධ වාණිජ මෙහෙයුම්වල යෙදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බවයි රජය පවසන්නේ.
ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට සහනයක් ලෙස කාරක ප්‍රාග්ධන සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
යෝජිත වැඩසටහන මඟින් දැනට පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත යටතේ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීම සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා ණය පහසුකම් සැපයීම අපේක්ෂා කරන බවද සඳහන්.
ඒ අනුව කොටස් දෙකකින් සමන්විත සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20ක් වැය කර තිබෙනවා.
මෙයින් දැනට පවතින සහ නව ව්‍යවසාය ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 15ක් යොදවන අතර ඉතිරි මුදල රු. බිලියන 05ක් අක්‍රීය ණය කාණ්ඩය යටතේ ව්‍යවසායන් සඳහා ආධාර කිරීම සඳහා යෙදවීමට නියමිතයි.
ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.