මෙතෙක් කලක් අබිරහසක්ව පැවැති ගම්පහ, මල්වතුහිරිපිටිය කහටාන ගංගාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමි ඝාතනය සුලමුල අනාවරණය කර ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට හැකිවී තිබෙනවා.
ඒ එම වෙඩි ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනකු ඇතුළු ඊට ආධාර අනුබල දුන් තවත් හය දෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.
ඉකුත් ජනවාරි මස 23 වැනිදා දහවල් ළා දම් පැහැති හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රියක නැඟගත් සිවුදෙනකු ගිනි අවි දෙකක්ද සමඟ කහටාන විහාරයට කඩා වැදුණේ ඔවුන් රහස් පොලිස් නිලධාරීන් බව අඟවමිනි.
විහාරස්ථානයේ සිටි තරුණ හිමිනමක් හමු වූ ඉන් එක් පුද්ගලයකු හඳහන් බලා ගැනීමට සාස්තර කියන හාමුදුරුවෝ හමුවීමට අවශ්‍ය බව කීවත් ඒ අවස්ථාවේ උන්වහන්සේ සිට ඇත්තේ දාන ශාලාවේ දානය වළඳමිනි. ධම්මරතන හිමියන් ජේයාතිෂ කටයුතුවලට නම් දරාපු භික්ෂුවකි.
එහෙත් පැමිණි පුද්ගලයන්ගේ අවශ්‍යතාව හඳහන් බැලීමට නොවන බව පන්සලේ කිසිදු හිමිනමක් ඒ වන විටත් දැන සිටියේ නැත. මොහොතක් ගතවත්ම එතැනට ලොකු හාමුදුරුවන්ද පැමිණි අතර ඒ සමඟ ගිනි අවිය අතැති පුද්ගලයා “ අපි සී.අයි.ඩී. එකෙන්” බව පවසමින් ලොකු හාමුදුරුවන් ඇතුළු සෙසු හිමිවරුන් සෝදිසියට ලක් කරන්නට පටන් ගත්තේය.
“මේ මොකද අපේ ලොකු හාමුදුරුවන්ගේ ඉණ අත ගාන්නේ. ඇයි මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන්නේ.”එතැනට පැමිණි ධම්මරතන හිමියන් එලෙස පැවැසීමත් සමඟ උන්වහන්සේ සාස්තර කියන හාමුදුරුවෝ බවට හඳුනාගත් පැමිණියවුන් උන්වහන්සේව වැඩ සිටි කාමරයට ඇදගෙන ගොස් තිබේ. පසුව ඔවුන් උන්වහන්සේගේ කාමරය අවුස්සා එහි තිබූ වටිනා මැණිකක් සොරා ගැනීමත් සමඟ ධම්මරතන හිමියන් පැමිණි පිරිස සමඟ ආවේගශීලීව හැසිරී ඇතැයි කියති. උන්වහන්සේ වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
වෙඩි ප්‍රහාරයත් සමඟ කලබලයට පත් විහාරයේ සිටි සෙසු හිමිවරු අහල පහල අයගේද සහාය ඇතිව වෙඩි වැදුණු ධම්මරතන හිමියන් වෑන් රියකින් ගම්පහ රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් උන්වහන්සේ අපවත්ව සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹීම සඳහා මල්වතුහිරිපිටිය පොලිසියේ නිලධාරීන් කහටාන විහාරස්ථානයට පැමිණියද ඒ වන විටත් ධම්මරතන හිමියන් ඝාතනය කළ පිරිස පැමිණි රථයෙන්ම පලා ගොස් තිබිණි.
නිලධාරීන් සිද්ධියට මුහුණදුන් හිමිවරුන්ගෙන් ප්‍රශ්න කොට සිදුවූ දේ විමසන්නට වූ අතර ඉන් අනතුරුව නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ ඒ අවට ස්ථාපිත සීසීටීවී කැමරා වෙතය.
එහිදී නිලධාරීන්ට ඝාතකයන් මෝටර් රථයකින් විහාරස්ථානයට පැමිණෙන අයුරුත් වෙඩි තැබීමෙන් පසු ඔවුන් පලායන අයුරුත් නිලධාරීන්ට නිරීක්ෂණය වූ අතර ඒ ඔස්සේ විමර්ශන දියත් කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් ඔවුනට උපදෙස් ලැබිණි.
මල්වතුහිරිපිටිය පොලිසියට අමතරව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද විමර්ශනවලට එක්ව සිටි අතර බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයද විමර්ශනවලට එක්කර ගැනිණ.
එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි (මෙහෙයුම්) ජනක කුමාරගේ මෙහෙයවීම මත විමර්ශන ඇරැඹුණු අතර සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදුකෙරිණි.
සිද්ධියෙන් පැය කිහිපයකට පසු කඩුවෙල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව කඩුවෙල, ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ ගිනිගෙන දැවුණු මෝටර් රියක් නිලධාරීන් විසින් සොයාගත් අතර විමර්ශනයේදී හෙළිවූයේ එම රථය ඊට පැය කිහිපයකට පෙර ධම්මරතන හිමියන් ඝාතනය කිරීමට පුද්ගලයන් පැමිණි හොන්ඩා ෆිට් රථය බවකි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන් රථය ගිනිගෙන විනාශ තිබූ හෙයින් රථයේ එන්ජින් අංකය සහ චැසි අංකය ඔස්සේ රථය හඳුනා ගැනීමට නිලධාරීන් උත්සුක විණි. එහිදී අනාවරණය වූයේ රථයේ එන්ජින් අංක, චැසි අංක සහ අංක තහඩු ව්‍යාජ ඒවා බවකි. ඒ අනුව කළ සොයා බැලීමේදී එම අංකවලට අයත් “ඔරිජිනල් රථය කහටගස්දිගිලිය පුද්ගලයකු සතුව තිබී සොයා ගැනීමටද නිලධාරීන්ට හැකි විණි.
ඒ අනුව නිලධාරීන් සැක කළේ පොලිසිය නොමඟ යැවීම සඳහා හෝ රථයේ ඇති සාක්කි පොලිසියට හසුවීම වැළක්වීම සඳහා පැමිණි පිරිසම රථයට ගිනි තබා විනාශ කරන්නට ඇති බවකි. එහෙත් ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක පුද්ගලයන් දෙදෙනකුගේ රුව සටහන් වී තිබීම නිසා නිලධාරීන්ගේ උකුසු ඇස් ඒ වෙතද යොමුවිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගින් දිගටම සිදුවෙද්දී අතුරුගිරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත පුද්ගලයන් සිවුදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලදී.
අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ එම පිරිස අතර ධම්මරතන හිමි ඝාතනය සඳහා හොන්ඩා ෆිට් රථය පදාවගෙන පැමිණි රියැදුරාද සිටින බවකි. විමර්ශන නිලධාරීන්ට පොටක් පෑදුණේ එතැනිනි. නිලධාරීන් දීර්ඝ ලෙස රියැදුරාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු නිලධාරීන් ඉදිරියේ පැවසුවේ ධම්මරතන හිමියන් සතුව තිබූ වටිනා මැණිකක් ලබා ගැනීමේ අරමුණෙන් තමා ඇතුළු සගයන් හතරදෙනකු එදින විහාරස්ථානයට කඩා වැදුණු බවකි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ උපදෙස් මත ධම්මරතන හිමියන් සතුව තිබූ නිධානයකින් ගන්නා ලද වටිනා මැණික් ගලක් ලබා ගැනීම සඳහා පැමිණි බවත් අවශ්‍ය වුවහොත් උන්වහන්සේ ඝාතනය කර හෝ මැණික ලබාගන්නා ලෙස ඩුබායි සිට ඔවුනට උපදෙස් ලැබුණු බවකි. ඒ මැණික් ගල විකිණීමෙන් ලොකු මුදලක් තමාට ලබාදෙන බවට ඔවුන් පොරොන්දුවක් දුන් බවද ඔහු පවසන්ට විණි.
කෙසේ වෙතත් නිලධාරීන් සැකකාර රියැදුරාට ලෙහෙසියන් ප්‍රශ්නවලින් මඟහැර යෑමට ඉඩ නොදුන් අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ධම්මරතන හිමියන් ඝාතනය සඳහා රැගෙන පැමිණි ටී පනස්හය ගිනි අවිය සහ පිස්තෝලය සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිණි. ඒ සැකකාර රියැදුරාගේ හෝමාගම පදිංචි නිවෙස දැඩි සෝදිසියට ලක් කිරීමෙනි.
ටී පනස්හය ගිනි අවිය සමඟ පතරොම් 15ක්ද පිස්තෝල ගිනි අවිය සමඟ හිස් පතරොම් ගැබ් 2ක්ද මයිකේරා් ගිනි අවියකට යොදන පතරොම් සහ නයින් එම් ගිනි අවිවලට යොදන පතරොම් ගැබද සැකකාර රියැදුරා සතුව තිබිණි.
එමෙන්ම ඔහු සතුව තිබූ ජංගම දුරකථනයද නිලධාරීන් සිය භාරයට ගත් අතර ඊට අමතරව ඔහුගේ සාක්කුවේ තිබූ වාහනයක යතුරක්ද සොයා ගැනිණි.
“මොකක්ද මේ යතුර. මොන වාහනේද” නිලධාරීන්ගේ එම ප්‍රශ්නයට පිළිතුරක් දීමට රියැදුරාට නොහැකිවිණි. අවසානයේ හෙළි වූයේ එම යතුර ධම්මරතන හිමි ඝාතනයට පැමිණි හොන්ඩා ෆිට් වර්ගයේ රියේ යතුර බවකි. රථය ඒ වන විටත් ගිනි තබා විනාශ කර තිබිණි.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් නිලධාරීන් ඉදිරියේ පැවැසුවේ ධම්මරතන හිමියන් සතුව තිබූ වටිනා මැණික ලබා ගැනීම සඳහා සිදුකළ කොල්ලයට පැමිණි පුද්ගලයන් එකිනෙකා සම්බන්ධ කරනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ රැඳුණු පුද්ගලයන් දෙදෙනා විසින් බැවින් එකිනෙකා කවුද යන්න හරිහැටි පැවැසීමට නොහැකි බවකි. වෙඩි තැබීම සඳහා ගිනි අවි සහ මෝටර් රිය ලබා දුන්නේද ඩුබායි රාජ්‍යයේ සිටි පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා බවද ඔහු විමර්ශන නිලධාරීන් ඉදිරියේ පවසන්නට වූයේ සිද්ධිය වූ ධම්මරතන හිමියන්ගෙන් ලබාගත් මැණික් ගලක්ද නිලධාරීන් වෙත ඉදිරිපත් කරමිනි.
ඉන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් සැකකාර රියැදුරාගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලදී.
එම වාර්තාව ඔස්සේ සියුම් නිරීක්ෂණයක යෙදුණු නිලධාරීන් එම වාර්තාවේ ඇති අංකයක් පසුපස යමින් කිසියම් උපාය මාර්ගයක නිරත වූයේ ධම්මරතන හිමි ඝාතනයට පැමිණි තුවක්කුකරුවන් කොටුකර ගැනීමේ අටියෙනි. ඒ අනුව එම දුරකථන වාර්තාවෙන් තෝරාගත් අංකයකට ඇමැතුමක් ලබාදීමට උසස් නිලධාරීන් විසින් නිලධාරිනියක් ලවා කටයුතු කරන ලදී.
“අයියේ.. මට මේ ඔයාගේ නොම්මරේ දුන්නේ….මම ජාඇළ ගාමන්ට් එකක වැඩ කරන්නේ. අයියේ දන්නේ නැද්ද ඒ අහල පහල බෝඩිමක්?”ලැබුණු ඇමතුමත් සමඟ දුරකථනයේ අනෙක් කෙළවර සිටි පුද්ගලයා කලබලයට පත්විණි.
“මොකක්ද? ඔයාට කවුද මගේ නොම්මරේ දුන්නේ? ඔයා කවුද? මොන ගාමන්ට් එකේද වැඩ කරන්නේ?”ඇමැතුමට පිළිතුරු දුන් තැනැත්තාගෙන් ප්‍රශ්න වැලකි. තරුණිය ඊට නොබියව පිළිතුරු දීමත් සමඟ දුරකථනයේ රැඳුණු තැනැත්තාද මඳක් සන්සුන් වී තිබේ.
පසුව ඇයට බෝඩිමක් සොයා දෙන්නට සහාය වුවද ඔහු එලෙස පිළිතුරු දුන්නේ උපාය දූතිකාවක් ලෙස රඟපාන පොලිස් කාන්තාවකට බව ඔහු නොදැන තිබිණි.
කෙසේ වෙතත් ඉන්පසුව නොදුටු යුවතියට බෝඩිමක් සොයා දෙන්නට ඇය හමුවීමට එම පුද්ගලයා කැමැත්ත පළ කර තිබේ.
“අනේ අයියේ හෙට විතරයි මට නිවාඩු ඔයාට හෙට උදේ ජාඇළට එන්න පුළුවන්ද?නොදුටු යුවතියගේ ඇරියුම ප්‍රතික්ෂේප නොකළ තරුණයා ඇය කී වේලාවටම ජාඇළ නගරයට පැමිණියේ ඇය සමඟ යහන් ගතවීමේ බලාපොරොත්තු වෙනි.
කෙසේ වෙතත් ඔහු ජාඇල හන්දිය අසලට පැමිණ තරුණිය වෙත ළඟාවත්ම ඒ අවට සිටි සිවිල් ඇඳුම්ලාගත් පොලිස් නිලධාරීන් ඔහු අල්ලා ගත් අතර ඔහුව පෑලියගොඩ යුනිට් එකට රැගෙන ගිය නිලධාරීන් ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළිකර ගත්තේ ධම්මරතන හිමි ඝාතනය සඳහා පැමිණි හතරදෙනාගෙන් ඔහුද එක් අයකු බවකි. එමෙන්ම මොහු අරලංගවිල පදිංචිකරුවකු බවත් ධම්මරතන හිමියන්ට වෙඩි තැබූ තුවක්කුකරුද අරලගංවිල පදිංචි මොහුගේ මිතුරකු බවත් දෙදෙනා අතර ඥාති සබඳකමක් ඇති බවත් නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදී.
නිලධාරීන් තුවක්කුකරු ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූ අතර ඔහු නිලධාරීන්ට පැවැසුවේ ඥාතියා අරලගංවිල ප්‍රදේශයේ අනියම් සබඳකමක් පවත්වන කාන්තාවකගේ නිවෙසේ සිටිනු ඇති බවය.
ඒ තොරතුරු මත නිලධාරීන් අරලගංවිලට ගියද තුවක්කුකරු එහි නොවූ අතර නිවෙසේ සිටියේ ඔහුගේ අනියම් බිරිය පමණි. තුවක්කුකරුට ආධාර, අනුබල හා නවාතැන් ලබාදීම නිසා ඇයද අත්අඩංගුවට ගැනුණු අතර ඒ වන විටත් ඇය ගැබිනියකි.
නිලධාරීන් ඇගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඇගේ අනියම් පෙම්වතා සිටිනා තැන පිළිබඳ විමසුමද ධම්මරතන හිමි ඝාතනය සිදුකළ තුවක්කුකරු මෙතෙක් සොයා ගැනීමට නිලධාරීන්ට නොහැකි විය. කෙසේ වුවද තුවක්කුකරු කවුද යන්න නිලධාරීන් මේ වන විට අනාවරණය කරගෙන හමාරය. ඒ අනුව ධම්මරතන හිමි ඝාතනයට පැමිණි සිවුදෙනාගෙන් රියැදුරා ඇතුළු එක් සගයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කුකරු සහ අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
මේ අතර විමර්ශන නිලධාරීන්ට තවත් වැදගත් තොරතුරක් ලැබිණි. ඒ ධම්මරතන හිමියන් සතුව තිබූ වටිනා මැණික ඒ වන විටත් මෙම කොල්ලය මෙහෙය වූ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි දෙදෙනා අතට ලැබී ඇති බවකි. අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරාගේ නිවෙසේ තිබී නිලධාරීන් සොයාගත් මැණික ඒ අනුව ව්‍යාජ, මිලක් නැති එකක් බවට මේ වන විට තහවුරු වී තිබේ.
ඩුබායි රාජ්‍යයේ අපරාධකරුවන්ගෙන් ලැබුණු උපදෙස් මත මෙම කල්ලිය එදින කහටාන විහාරයට අවි සමඟ පැමිණියේ ධම්මරතන හිමියන් ඝාතනය කර උන්වහන්සේ සතුව තිබූ රුපියල් කෝටි ගණනක එම මැණික පැහැරගැනීමේ අදහසිනි. එම මැණික ලබා ගැනීමෙන් පසු එය විකුණා ලොකු මුදලක් කොල්ලයට පැමිණි සිවුදෙනාටම ලබා දෙන බව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිනවුන් මොවුන්ට සහතික වී තිබිණි.
ගුරුකම්වලට නම් දරා සිටි ධම්මරතන හිමියන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින පිරිසටද ගුරුකම් කටයුතු කරදීම සඳහා කිහිප වතාවක්ම ඩුබායි වෙතද ගොස් තිබූ අතර උන්වහන්සේ විසින් උපයා ගන්නා මුදල් ලක්ෂ ගණනක් උන්වහන්සේගේ සමීප පුද්ගලයකුගේ ගිණුමකට ස්ථාවර තැන්පතු ලෙස දමා ඇති බවට විමර්ශනයේදී හෙළි වී තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත බස්නාහිර උතුර දිශා භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි වී.පී.ජේ. පුෂ්පකුමාර සහ සහකාර පොලිස් අධිකාරි (මෙහෙයුම්) ජනක කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ජයසේකර සහ පතිරාජසූරිය ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
කීර්ති මෙන්ඩිස්