ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා සහ සභාග හමුදා භටයින් රැදී සිටි කදවුරු දෙකකට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික ප්‍රමාණයක් එල්ල වී ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා.
කෙසේ වෙතත්, ඉන් කිසියම් හානියක් සිදුව ඇති බවට මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැහැ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයෙකු වූ ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමත් සමග ඉරානය සහ ඇමරිකාව අතර අර්බුදකාරි තත්ත්වය යළි උත්සන්න වුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය කියා සිටියේ ඇමරිකාවෙන් පළි ගන්නා බවයි.
එමෙන්ම, ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට අණ දුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ හිසට පසුගියදා ඉරානය විසින් ඩොලර් මිලියන 80ක ලංසුවක් ඉදිරිපත් කළා.
මේ අතර, ජෙනරාල් කසෙම් සොලෙයිමානි ගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට පැමිණි ජනතාව අතර ඇති වූ තෙරපීමකින් 56 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම, 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මේ හේතුවෙන් ඔහුගේ භූමදාන කටයුතු කල් දමා තිබෙනවා.