ලෝකයම ආදරය කළ කුමාරිකාවක් හිටියා නම් ඒ ඩයනා කුමරියම විතරයි. ඇය ජනතාවගේ කුමරියයි.ඩයනා කුමරිය අකාලයේ මියගිය පුවත ලෝකයටම හීනයක් වුණේ ඒ නිසයි.ඇය මිය ගිහිං වර්ෂ ගණනක් ගත වුණා. රිය අනතුරකින් මියගියා යැයි ජනතාව හිතුවත් ඇගේ මරණය අභිරහසක් බවටත් විටින් විට මතු වුණා.ඒ මරණය හිතා මතා කළ සැලසුම්සහගතව කළ මරණයක් බවට දැන් පාපොච්චාරණය කරන්නේ මරණයට දින ගනින ජෝන් හොප්කින්ස්.
ජෝන් හොප්කින්ස් M15 හෙවත් එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක හා බුද්ධිඅංශ අනු ආයතනයේ තිස්‌අට වසරක් සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙක්. මේ වන විට අසූ වැනි වියේ පසුවන ඔහුට ජීවත්වීමට ඉතිරිව ඇත්තේ තව සති කිහිපයි. ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතිරී තම ජීවිතයෙහි අවසන් දවස් කිහිපය ගෙවන ඔහු පසුගිය බදාදා 'ඩයනා කුමරියව මැරූ අයුරු' පාපොච්චාරණය කළා.1973 සිට 1999 දක්‌වා තමන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය වෙනුවෙන් සේවය කළ කාලය තුළ බ්‍රිතාන්‍ය රජයේ නියමයෙන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ රාජකාරි ලෙසින් මිනිස් ඝාතන විසි තුනක් සිදු කළ බවද ඩයනා කුමරියව ඝාතනය කිරීම ද එලෙසින් පැවරුණු එක් රාජකාරියක් බව ද ඔහු පවසනවා. මෙසේ ඝාතනයට ලක්‌වූ සියලුම දෙනා බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් වූ පුද්ගලයන් ලෙසින් සැලකුණු නිසා ඔවුන්ව ඝාතනය කරන්නට තීරණය වුණු බව ද මෙකී පුද්ගලයන් ඝාතනය කිරීම සූක්‌ෂමව සැලසුම් කිරීම තමන්ට පැවරී තිබුණ බව ද ඔහු සදහන් කරනවා.
"මේ සියල්ල සිදුවුණේ ඉතා රහසිගතවයි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දේශපාලන ඝාතන කරන්නට පත් කර තිබු විශ්වාසවන්ත නිලධාරීන් හත්දෙනකුගෙන් යුතු රහසිගත කණ්‌ඩායමේ මමත් එක් සාමාජිකයෙක්. මෙසේ ඝාතනය කෙරුණු අය අතරින් බහුතරයක් දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන්.." හොප්කින්ස් විස්‌තර කරන්නේ එහෙමයි.
"මගේ සැලසුම් වලින් ඝාතනය කරපු අය අතරින් සුවිශේෂීම කෙනා තමයි ඩයනා කුමරිය.. මම කරපු ඝාතන අතරින් එකම කාන්තාව ඇයයි. එකම රාජකීයයාත් ඇයයි. රජ පවුල විසින්ම 'ඉවත් කර දැමිය යුතුයි' කියලා තීරණය කරපු රාජකීයයාත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන්. දෙගිඩියාවෙන්. ඩයනා කුමරිය කරුණාවන්ත හදවතක් ඇති සුන්දර කාන්තාවක්. එතරම් අඩු වයසකින් ඇගේ ජීවිතය පැහැරගැනීම අපරාධයක්. ඒත් ඇයගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත් කිරීටයටත් තර්ජනයක් එල්ල වෙලා තිබුණා.. ඒ නිසයි ඒ ඝාතනය කරන්න සිද්ද වුණේ.."
"ඩයනා කුමරිය ඕනෑවටත් වැඩියෙන් රජ පවුලේ රහස් දැනගෙන හිටියා. ඒ වගේම ඇය රජ පවුලත් සමඟ තිබූ අමනාපය නිසා ඒ රහස් මාධ්‍යයට එළිකරන්නටත් මාන බලමින් හිටියා. "ඇයව මරා දමන්න ඕනෑ" කියලා මගේ ප්‍රධානියා මට කිව්වා. මගේ ප්‍රධානියාට අණ ලැබිලා තිබුණේ පිලිප් කුමරුන්ගෙන්. ඒක සාමාන්‍ය රිය අනතුරක් ලෙස පෙනෙන ආකාරයට සිදු කරන්නට අපිට අණ ලැබිලා තිබුණා. මම ඊට කලින් රජ කුමරියක් තියා සාමාන්‍ය ගැහැනියක්‌වත් ඝාතනය කරලා නෑ.. කිසිම කාන්තාවක් ඝාතනය කරලා තිබුණේ නෑ.. එහෙත් මට ලැබුණු අණට කීකරු වෙන්නට මා බැඳී සිටියා. මට පැවරුණු රාජකාරිය මා ඉටු කළ යුතුමයි. මම එය කළේ මගේ රට සහ රැජන වෙනුවෙන්.."
"බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් හැම දෙනාම ඔවුන්ගේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හා කර්තෘවරුන්ට පිළිතුරු දෙන්නට බැඳී සිටිනවා.. ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සියලුදෙනා බකිංහැම් මාලිගයේ රජ පවුලේත් නයිට්‌වරු කිහිප දෙනකුගේත් පාලන බලයට යටත්. නිදහස් යෑයි කියන්නට පුළුවන් කිසිදු මාධයයක් බ්‍රිතාන්‍ය තුළ නැහැ."
මේ රාජකාරිය භාරගත්තේ ඇයිදැයි විමසූ විට ඔහු පැවසූයේ තමා රැකියාවේදී බ්‍රිතාන්‍ය කිරීටයට පක්‌ෂපාතී වන බවට දිවුරා ඇති බවත්, තමාට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු නොකළහොත් මරණයටත් වඩා බියකරු දඬුවම් වලට මුහුණ දෙන්නට සිදුවන බවත්ය. මේ ඩයනා කුමරියගේ මරණය රජ පවුලෙන්ම සැලසුම් කළ ඝාතනයක් බවට කියෑවුණු පළමු අවස්‌ථාව නොවේ. ඩයනා කුමරිය මියයන්නට පළමු ඇයගේ අත් අකුරින්ම ලියා තිබුණු ලිපියකත් "රජ පවුල විසින් තමාව ඝාතනය කරන්නට සැලසුම් කරන බව" සඳහන් කර තිබෙනවා.
"මා වැළදගෙන මාව දිරිමත් කරන්නටත්, නොබියව හිස ඔසවා හිදින්නට මගේ හිත හදන්නටත් කවුරුන් හෝ හිටියානම් කියා ඔක්‌තෝබර් මාසයේ දිනයක් වන අද මම මෙසේ මගේ ලියන මේසය අසල හිඳගෙන සිතමි. මේ ගෙවී යන්නේ මගේ ජීවිතයේ බියකරුම කාලපරිච්ඡේදයකි. මගේ මෝටර් රියෙහි තිරිංග බිඳදමා, මාව රිය අනතුරකට ලක්‌කොට, මගේ හිස බරපතළ තුවාලවලට ලක්‌කොට මා මරා දමන්නට මගේ සැමියා සැලසුම් කරමින් සිටී. ඔහු මාව මරාදමන්නට සැලසුම් කරන්නේ ඔහුගේ අනියම් භාර්යාව කැමිලා විවාහ කරගන්නට ඇති බාධාව මා බැවිනි...." ඩයනා කුමරියගේ ඒ ලිපියේ සඳහන් වචනය.
ඩයනා කුමරියගේ මෙම ලිපිය පසු කලකදී ඩයනා හිතවාදීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් ඒ පිළිබඳව රජ පවුලේ සම්බන්ධයක් තහවුරු කරගන්නට නීතිය අසමත් වූ බැවින් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනුණේ නැහැ. වර්තමානයේ මේ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරි ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණය ද එම කතාව තහවුරු කරන නමුත් ජෝන් හොප්කින්ස්‌ගේ කතාව ව්‍යාජ එකක් බව ද එය බ්‍රිතාන්‍ය රජ පවුලට එරෙහිව කරන කුමන්ත්‍රණයක් බව ද කියමින් මේ පුවත දැනටමත් වාරණය කෙරෙමින් පවතියි. එසේ පැවසුව ද ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණයෙහි වීඩියෝ පටය තවමත් යූ ටියුබ් වෙබ් අඩවියෙහි හුවමාරු වෙනවා දකින්න ලැබෙනවා.