"එයා මගේ නංගි කියලා කියනවටත් එයා බයයි..."
"මම මරණ බියෙන් අදහස් ප්‍රකාශ කළයුතු නැහැ.."
"බලය ලැබුණාම ගැහැනියක් පවා පිරිමියෙකු වගේ නපුරු වෙනවා.."
ඇගේ කාර්යාල කාමරය තුළ ඇති කුරානය හෝ රාමායනය රැඳවිය යුතු ලී රඳවනය මත ඇත්තේ Charlie Hebdo සඟරාවේ අනුස්‌මරණ කලාපයයි. ඇය පැරිසියේ ඇති Charlie Hebdo සඟරා කාර්යාලයට ගිය විටකදී එහි කාර්යමණ්‌ඩලය මේ පොත ඇයට ප්‍රදානය කළේ ඇයට සහයෝගය පළ කරනු පිණිසය.
මොහොම්මද් නබීගේ චරිතය කාටුන් මගින් අවඥාවට පත් කළා යෑයි මහත් ආන්දෝලනයකට ලක් වුණු මේ සඟරාවට ඇය සහය දුන්නේ යෑයි වරෙක මුස්‌ලිම් අන්තවාදී සංවිධාන විසින් ඇයට මහත් විරෝධයක් එල්ල කරන ලදී.
ඒ කිසිදු සංවිධානයක තර්ජනයකට නොබියව නිදහසේ ලියන කියන ඇය තස්‌ලිමා නස්‌රින් නම් වූ ලේඛීකාවයි.
"ආගමට ලැදි මිනිසුන්ට තමන්ගේ ආගමික අදහස් ප්‍රකාශ කරන්නට නිදහසත් අයිතියත් ඇති සේම මටත් මගේ නිරාගමික අදහස් ප්‍රකාශ කරන්නට අයිතිය තියෙන්නට ඕනෑ.. මම මරණ බියෙන් අදහස් ප්‍රකාශ කළයුතු නැහැ.."