ගයනා සුදර්ශනී කියන්නේ රංගනයට දශක ගණනාවක සිට විවිධ චරිත මවන නිලියක්. ඇයගේ දක්ෂතා නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ පුංචි තිරය ඔස්සේ. ඉදහිට සිනමා නිර්මාණවලින් දකින්න ලැබෙන ගයනා ගැන අලුත් තොරතුරු ගැන පුවත්පතක සදහන් වූ ලිපියයි මේ.
අලුතින් නිර්මාණයකට එහෙම සම්බන්ධ වුණේ නැද්ද?
අගෝස්තු මාසයේ රූපගත කිරීම් ආරම්භ වෙන සුනිල් ආරියරත්නයන්ගේ චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැරුණු කොට නම් නිර්මාණ සඳහා ඉතාම අඩු දායකත්වයක් තමයි තියෙන්නේ.
ඒ කියන්නේ ඔබ කලාවෙන් ඈත්වෙලාද ඉන්නේ?
මම සාමාන්‍යයෙන් හැම නිර්මාණයකම රඟපාන්න යන කෙනෙක් නෙවෙයි. අනික දැන් රටම යම්කිසි පසුබෑමක් තියෙන මොහොතක කලාවේ තත්ත්වයත් හරිම ශෝචනීයයි. ඉතින් හොඳ නිර්මාණ බිහිවෙන්නෙත් නැති තරම් දැන්.
එතකොට ඔබ තෝරලා බේරලා රඟපාන කෙනෙක් කීවොත් හරිද?
ඇත්තටම මම චරිත තෝරලා බේරලා තමයි රඟපාන්නේ. මොකද හැම චරිතෙම කරන්න ගිහින් කලින් කරපු වටින නිර්මාණවලට ලැබුණු වටිනාකම් අහිමි කරගන්න මම කැමති නැහැ. ආර්ථිකමය අවාසියක් වුණත් මම සහ ප්‍රේක්ෂකයා සෑහීමකට පත්වෙන චරිත විතරයි මම රඟපාන්නේ.
තවමත් නිතරම ජිම් යනවද ඔබ?
ඔව්, ඔව් තවමත් ජිම් යනවා ඉතින්.
ඒ කියන්නේ ඔබට සෑහෙන්න වෙනසක් දැනිලා ඇති ඒ තුළින්?
අනිවාර්යයෙන්ම. මොකද මම කාලයක් මහත්වෙලා හිටියේ. දැන් නම් එහෙම නැහැ. විශේෂයෙන්ම ශරීර හැඩයට, රූපයට වඩා මම ව්‍යායාම තුළින් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සම්පන්න බව. හැමදේටම කලින් නිරෝගිකමයි වැදගත්ම දේ වෙන්නේ.
රංගනයේදී දක්ෂතාවට වගේම පෙනුමටත් වටිනාකමක් ලැබෙනවා නේද?
ඔව්, ඒක හරි. නමුත් හැම තැනදීම පෙනුමට මුල්තැන ලැබෙන්නේ නෑ. පෙනුම කියන දේ මේකප්වලින් හදලා ගන්න පුළුවන් හරිම ලේසියෙන්. හැබැයි දක්ෂතාව එහෙම ගන්න බෑ. අපි හොඳටම දන්න ජෝ අබේවික්‍රමයන් ප්‍රතිභාපූර්ණ රංගධරයෙක් වෙන්නේ පෙනුම ගැන හිතලා චරිත තෝරාගෙන නෙවෙයි. සම්භාව්‍ය, විකට, බොළඳ, ක්‍රියාදාම මේ කියන ඕනම පරාසයකට සිය රංගනය හසුරුවන්න ඔහු තුළ තිබුණු දක්ෂතාවයයි වැදගත් වුණේ.
ඔබට සිනමාවට ආරාධනා ලැබෙනවා අඩුයි නේද?
මම ගොඩක් කැමති සිනමාවට, නමුත් තවම මට සිනමාවේ රැඳෙන්න අවස්ථා ලැබුණේ හරි අඩුවෙන්. ඒ ගැන නම් පුංචි දුකක් හිතේ තියෙනවා.
දක්ෂතාවයෙන් උපරිමය කරන්න ලැබුණා කියලා හිතෙනවද?
පුංචි තිරයෙදි මට ප්‍රේක්ෂකයන්ගේ හදවතට සමීප, පොළොවේ පය ගහලා ඉන්න චරිත කරන්න අවස්ථාව ලැබුණා. එතැනදි මම සාර්ථකයි. හැබැයි ඉතින් ඒ මගේ උපරිමය නෙවෙයි. මොකද තව ගොඩක් දුර ගමනක් යන්න තියෙනවා ඉස්සරහට.
වේදිකාවෙන් ආපු කෙනෙක් නේද ඔබ?
උතුරු සළුව, ව්‍යාඝ්‍ර වැනි නාට්‍ය තුළින් මුලින්ම මම වේදිකාව හරහායි කලාවට සම්බන්ධ වුණේ. එතකොට මම නර්තනය හදාරනවා.
ඊට පස්සෙ නර්තනය මගහැරෙනවාද?
ඇත්තටම ඔව්. මගේ ආසාව තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න. නමුත් රංගන කලාවට යොමුවීමත් එක්ක මට නර්තනය මගහැරෙනවා.
තවමත් ඔබ නිෂ්පාදන කටයුතු කරගෙන යනවද?
ඔව්, දිගටම ඒ කාර්යයේ නියැළෙනවා. අපි නිර්මාණ කිහිපයක් නිෂ්පාදනය කළා.
අධ්‍යක්ෂණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
අධ්‍යක්ෂණය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඉදිරියේදී අධ්‍යක්ෂණයට යොමුවෙන්න පුළුවන්. නමුත් ඒ දැන්ම නෙවෙයි. මොකද කාගේ හරි සල්ලි සෙල්ලමකට අරන් නිකම් නිර්මාණයක් කරන එක හරි අපරාධයක්. ඒ සඳහා අත්දැකීම් වගේම අධ්‍යයනයත් තියෙන්නම ඕන.
පෞද්ගලික තොරතුරු ගැනත් කියමු?
මම විවාහවෙලා ඉන්නේ සහන් විජේසිංහ එක්ක. ඔහුත් කලාවට සම්බන්ධ නිෂ්පාදකවරයෙක්, නළුවෙක් හැටියට කටයුතු කරනවා. සරල, සුන්දර සාර්ථක පවුල් ජීවිතයක් අපට තියෙන්නේ.
දෙන්නම කලාවේ ඉන්න නිසා ආර්ථික අභියෝගත් ඇති නේද?
කලාවම තමයි ඉතින් වෘත්තිය. ඒ හැරුණු කොට බුලත්විට කඩයක්වත් කරන්නේ නෑ අපි. ආර්ථිකයට නම් ඒක ප්‍රශ්නයක් තමයි. දැන් දැන් දේශීයත්වයට එහා ගිය විදේශීය නිර්මාණ නිසාවෙන් අපිට තියෙන තැන වගේම අපේ වෘත්තියටත් ලොකු පහරක් එල්ලවෙලයි තියෙන්නේ.
කලාව නිසා ජීවිතේ මගහැරුණු තැන් එහෙම තියෙනවාද?
මම කලින් කීවා වගේ නර්තනය තමයි මට මගහැරුණේ. අම්මත් ගුරු වෘත්තියට සම්බන්ධ නිසා මටත් ඕන වුණේ ගුරුවරියක් වෙන්න. නමුත් දුකක් නෑ. මොකද මාසේ අන්තිමට ස්ථිර පඩියක් නොලැබුණාට නර්තනය වගේම රංගනයත්, කලාවත්, කලාකාරියක් වීමත් ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.