වයස අවුරුදු 26 ක කාන්තාවක් සිය නිවසේ නිදා සිටියදී ඇසිඩ් ගසා පලාගිය සැකකරුවෙකු මාර්තු මස 14 දක්වා යළිත් රක‍්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා ඊයේ (29) නියෝග කර තිබෙනවා.
එසේ රක‍්ෂිත බන්ධනාගාර ගතකළේ මීගමුව කටාන හා වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෙකු වූ චතුරංග සඳරුවන් නැමති දෙදරු පියෙක්.
ඉකුත් ජනවාරි මස අදාළ කාන්තාව මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති අතර සැකකරු පලාගොස් සිටියදී කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් මීගමුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සොයාගන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඊයේ (29) දක්වා රකෂිත බන්ධනාගාර ගතකොට තිබිණි.
සැකකරු අදාල කාන්තාවගේ නිවසට නිරන්තරයෙන් පැමිණ ගිය අයෙකු බවත් පසුව සැකකරු විවාහක අයෙකු බැව් දැනගෙන ඇතිවූ බහින්බස්වීම මෙම ඇසිඩ් ප්‍රහාරයට හේතුවන්නට ඇති බවත් පොලිසිය සැක කරනවා.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ජේ.එම්.ගුණතිලක හා අමිල කාරියවසම් යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙය සැළසුම් සහගත ප්‍රහාරයක් බවත් මීගමුව ප්‍රදේශයේ සිට ඇසිඩ් රැගෙනවිත් උදයවරුවේ කාන්තාවට පෙවීමට උත්සහ කොට ඇති බවත් ය.