වවුනියාව විපුලානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි හර්ෂවි ගංගාදරන් දැරිය දූෂණය කොට මරා දැමූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබා දෙන්නැයි ඉල්ලමින් යාපනය, කිලිනොච්චිය සහ වවුනියාව නගරවල ඊයේ (24) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.
සියලුම කඩසාප්පු හා පාසල් වසා දමමින් මේ නගරවලට රැස්වූ ප්‍රදේශයේ ජනතාව ස්ත්‍රී හා ළමා අපචාර සිදුකරන පිරිසට මරණ දඬුවම ලබා දෙන ලෙසත් දරුවන් ආරක්ෂා කරන ලෙසත් රජයට බල කළහ. ඉකුත් 16 වනදා මෙම සිසුවිය ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සැකය නිසා කළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ 13 හැවිරිදි මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි.
තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ මෙම දැරිය ඉකුත් 16 වනදා පාසල් යාමට නොහැකි බව පවසමින් නිවසෙහි නැවතී තිබෙනවා. සිය වැඩිමහල් සොහොයුරා සවස පාසල් ඇරී නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අයුරු දැක ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දැරියගේ සිරුර වව්නියාව මහ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව පරීක්ෂාවට ලක්කර තිබුණේ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු විසින්. දැරියගේ මව පාසල් ගුරුවරියක බව සදහන්.
වෛද්‍යවරයාට දැරියගේ මරණය සම්බන්ධයෙන් සැක මතුවීම හේතුවෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වව්නියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාර දී තිබෙනවා.
ඊයේ පැවති මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ මෙම දැරිය අපයෝජනයට ලක් කර ගෙළ සිරකර මරා දමා ඇති බවයි. මෙයට විරුද්ධව පැවති හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවකට පත්වූහ.