ශ්‍රී ලංකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කොට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටුවහල් කළ නේපාල කාන්තාවක් ගුවනේදී අතුරුදන්වීමේ සිද්ධියක් පිළිබදව එරට පුවත්පතක් හෙළිදරව් කරනවා.
නේපාලයේ රිපබ්ලිකා පුවත්පත සදහන් කරන පරිදි පසුගිය පෙබරවාරි 7 වන දා මෙම 38 හැවිරිදි කාන්තාව කොළඹ සිට කත්මණ්ඩු බලා යන එයාර් ඉන්දියා ගුවන් යානයකට නංවා ඇත්තේ සංක්‍රමණික බලධාරීන් විසින්.
එහෙත් ගුවන් යානය කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වන ලද අවස්ථාවේ ඇය එහි නොසිටි බවයි නේපාල සංක්‍රමණික බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ නමුත්, එයාර් ඉන්දියා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇගේ ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය සංක්‍රමණික බලධාරීන්ට භාර දී තිබෙනවා.
එයාර් ඉන්දියා ගුවන් යානයේ මගී ලැයිස්තුවේ මෙම නේපාල කාන්තාවගේ නම සදහන්ව තිබියදී ඇය ගුවන් යානයේ නොසිටීම සම්බන්ධයෙන් නේපාල බලධාරීන් විමතිය පළ කරනවා.
ගුවන් සේවයේ ආරක්ෂක විධි විධාන පිළිබද එහිදී සැකයක් මතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම කාන්තාව කිසියම් පිරිසකගේ සහායෙන් ගුවන් යානය දිල්ලි ගුවන් තොටුපළේ නතර කළ අවස්ථාවේ පළා යන්නට ඇතැයි නේපාල බලධාරීන් සැක පළ කළා.
ශ්‍රී ලංකාව, නේපාල ජාතිකයන් මැදපෙරදිග සහ අනෙකුත් රටවල් වෙත නීත්‍යානුකූල නොවන අන්දමින් සංක්‍රමණය වීමේ මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති බවයි රිපබ්ලිකා පුවත්පත පෙන්වා දෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් නේපාල සංක්‍රමණික කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.