පසුගියදා රටපුරා කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුණේ දෙමටගොඩදී මවක් හා දියණියක් කහඉර මතදී මරුමුවට පත්කළ 15 හැවිරිදි ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු හා ඔහුගේ මව සම්බන්ධයෙනුයි. මෙම සිද්ධියේදී ඔවුන් දෙදෙනා කිසිදු ප්‍රකාශයක් මාධ්‍යවෙත මින් පෙර හෙළිකර නොතිබුණු අතර සිද්ධිය දින තමන්ගේ දෑසින් දුටු ඒ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මව හා පුතා උසාවියේදී පවසා ඇත්තේ මෙවන් දෙයකි...
‘‘පුතා පදවපු කාර් එක පාර මාරුවෙමින් සිටි මවගේ හා දුවගේ ඇගේ හැප්පුණා. ඒ හැප්පුණු ගමන් ඒ දෙන්නාව විසිවෙලා වැටුණා‘‘ ඒ සාකිලා බානු (33) නමැත්තිය සාක්‌ෂි දෙමින් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේදී ඊයේ (9) පවසා ඇති කරුණු වේ. ඇය වැඩිදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් මෙන් දෙයක්ද පවසා ඇත..
‘‘2016.01.16 වැනිදා මගේ මහත්තයා වැඩ කරන ආයතනයට අයත් කාර් රථය පුතා විසින් පදවාගෙන ගියා. පුතා මා සමඟ දෙමටගොඩ ෆුඩ් සිටියට යමින් සිටියේ. පුතාගේ වයස අවුරුදු 15 යි. පුතා ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්තේ. මේ සිද්ධිය වූදා මගේ මහත්තයා පිටරට ගිහින් හිටියේ. මට තව පොඩි දරුවෙක් ඉන්නවා. ඒ දරුවාගේ කිරිපිටි ඉවර වෙලා නිසා මා පුතත් එක්‌ක ඒවා ගන්න කාර් එකේ ගියා. පුතා කාර් එක පදවාගෙන ගියා. මා ඉදිරි අසුනේ ගමන් කළා. පුතාට රිය බලපත් නැහැ. පුතා වාහනය පදවාගෙන යන කොට අම්මයි, දුවයි එකපාරට පාර මාරුවුණා කහ ඉර ළඟින්ම. අපි හිතුවේ නැහැ ඒ අය එකපාරට පාර මාරුවෙයි කියලා. ඒ සමගම පුතා පදවපු කාර් එක ඒ දෙන්නාගේ ඇඟේ හැප්පුනා. එහිදී දෙන්නම විසිවෙලා වැටුණා. පාරේ ඉන්න අය ලෙඩ්ඩුන්ව රෝහලට අරන් ගියා. එතන හිටපු අය කලබල වෙයි කියලා හිතලා මගේ අයිය මාව ගෙදරට එක්‌කරගෙන ගියා. ඉන්පසු එදා රෑ දෙමටගොඩ පොලිසිය ඇවිත් මගේ පුතාව එක්‌කරගෙන ගියා. මා පුතාට වාහනය පදවන්න දුන්න බව පිළිගන්නවා. ‘‘
මෙහිදී සාක්‌ෂි දුන් මෝටර් රථය පැදවූ සැකකාර පාසල් සිසුවා වන මොහොමඩ් ෆරීඩ් ෆාරුක් (15) යන අය මෙසේ කීය.
‘‘2016.01.16 වැනිදා අම්මට ෆුඩ් සිටියට යන්න ඕනේ කියලා කිව්වා. මේ නිසා මා අම්මව තාත්තාගේ කාර් රථයෙන් රැගෙන ගියා. මට කාර් පදවන්න ඉගැන්නුවේ තාත්තා. අවුරුද්දක් පමණ කාලයක ඉඳලා මා මෙම කාර් රථය පදවනවා. මා නිතරම කාර් රථය එලවන්නේ තාත්තා සමඟ. මේ සිද්ධිය වූදා මා පළවැනි වතාවට අම්මත් එක්‌ක මහ පාරේ ගියා.
බේස්‌ලයින් පාරෙන් දෙමටගොඩ දෙසට එනකොට පදික මාරුවෙන් අම්මයි, දුවයි පාර මාරුවුණා. ළඟට ආවට පසුවයි මා ඒ දෙන්නව දැක්‌කේ. මා පැයට කිලෝ මීටර් 60 ක 70 ක වේගයකින් ගියේ. ඒ නිසා මට කාර් රථය පාලනය කරගන්න බැරි වුණා. ඉන් පසුව ඒ දෙන්නගේ ඇඟේ කාර් රථය හැප්පුණා. පසුව මගේ මාමා ඇවිත් මාව එක්‌කරගෙන ගියා. එතන කලබලකාරී තත්ත්වයක් ඇතිවුණු නිසයි මාව අරන් ගියේ. පසුව එදා රාත්‍රියේ පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා.‘‘
ඉදිරිපත් වූ සාක්‌ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක මෙම මරණය මෝටර් රථයක හැපීමෙන් හිසට බෙල්ලට පපුවට හා ශරීරයට සිදුවූ තුවාල හේතුවෙන් වූ මරණ බවට නිගමනය කර ඇත.