බද්දේගම හැම්මෑලිය පැත්තෙ අක්කා නගෝ දෙන්නෙක් බද්දේගම පොලිසියට කළ අසත්‍ය පැමිණිල්ලක් හේතුවෙන් නිර්දෝෂි තරුණයන් තිදෙනකු බද්දේගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 5 ක් රක්ෂිත බන්ධනාගාරගත කළඅවාසනාවන්ත සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.
මෙම අක්කා නගෝ දෙදෙනා පොලිසියට පැමිණිලි කර තිබුණේ ඔවුන් හැම්මෑලිය සිට බද්දේගම නගරයට යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේදි වවුලගලකන්ද ප්‍රදේශයේදී මාර්ගය අසළ රැඳී සිටි තරුණයන් තිදෙනකු විසින් බලහත්කාරයෙන් යතුරුපැදිය නතර කර බියගන්වා තර්ජනය කර රුපියල් 45,000 ක් වටිනා රන් මාලය සහ පෙන්ඩනයද නැගණියගේ රුපියල් 25,000 ක් වටිනා රන් මාලය සහ පෙන්ඩනයත් කොල්ලකා ඔවුන් දෙදෙනාට අඩන්තේට්ටම් කළ බවයි.
මෙම පැමිණිලිකාරිය පෙර පාසලක ගුරුවරියක්ද වනවා.
අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ තරුණයන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර පසුගිය දෙසැම්බර් 15 වැනි දින බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 21 දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකාර තරුණයන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇති වූ සැකය හේතුවෙන් බද්දේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.
එහිදි හෙළිව තිබුණේ මෙම අක්කා නගෝ දෙදෙනා කළ පැමිණිල්ල බොරුවක් බවයි.
අනතුරුව තරුණයන් විසින් කොල්ලකෑවා යැයි පැවසූ රන් මාල දෙක සහ පෙන්ඩන්ට් දෙක අදාළ පැමිණිලිකාරියන්ගේ නිවෙසේ සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තා.
පසුව පැමිණිලිකාර පෙර පාසල් ගුරුවරිය සහ ඇයගේ නැඟණිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා පවසා තිබුණේ අදාළ තරුණයන් තිදෙනාගෙන් පළිගැනීමේ අදහසින් මෙම පැමිණිල්ල කළ බවයි.
වහා ක්‍රියාත්මක වූ බද්දේගම පොලිසිය බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත්තා.
බොරු පැමිණිල්ලක් කර නීතිය නොමඟ යැවීමට සහ අපහසුතාවට පත් කිරීමේ චෝදනාව මත පැමිණිලිකාරිය වූ පෙර පාසල් ගුරුවරියට සහ ඇයගේ නැඟණියට එරෙහිව නඩු පවරන ලෙසත් බද්දේගම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඒ අනුව අදාළ අක්කා නගෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන පෙරේදා බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුව බොරු පැමිණිලිකාරියන් දෙදෙනාට විවෘත අධිකරණයේ දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා දඬුවම් නියම කිරීම ජුනි මස 27 වැනි දිනට කල් තැබුවා.