පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක පහළ මහලයේ තිබී පසුගිය මාර්තු මාසයේ සොයාගත් සොහොයුරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් පසුගිය කාලය පුර කතාබහක් ඇතිව තිබුණා.
කෙසේ නමුත් එම අභිරහස් මරණයේ ඝාතකයින් කවුරුන්දැයි බොහෝ කළක් සොයාගත නොහැකිව තිබුණත් මේ වන විට මාස 9කට පමණ පසු සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අයෙකුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
රක්වාන ප්‍රදේශයේ පදිංචි අදාලා සහෝදරියන්ගේ සොහොයුරෙකු වසර දෙකකට පසු නිවසට පැමිණ තිබුණු අතර, ඉන් පසු මෙම අස්ථි කොටස් දැක පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බවට සඳහන්.
ප්‍රදේශවාසීන් විසින් අදාළ සොහොයුරියන් ජීවත් වූ නිවසේ දොර දින කිහිපයක් තිස්සේ විවෘතව තිබීම දැකීම හේතුවෙන් මෙම සොහොයුරා වෙත ඒ බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම සොහොයුරා සිය බාල සහෝදරියන් පදිංචි පානදුර නිවසට පැමිණ තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී මියගිය සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් එහි තිබී හමුවූ අතර වයස 70 ත්, 72 ත් යන මෙම සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරනු ලැබුවා.
මෙම ඝාතනයක් සිදුකර ඇත්තේ කාන්තාවන් දෙදෙනා සිටි නිවසට පැමිණි හොරෙකු බවට පොලිසිය සැකකරන අතර කාන්තාවන් සිටි නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් මෙම සොරා විසින් අවට නිවෙස් වලට විකුණා තිබෙනවා.
ඒ අනුව මාස 9 කට පසු පානදුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර සොයාගත් භාණ්ඩ අතර වසර 100 ක් පමණ පැරණි මිල අධික අල්මාරියක් සමඟ තවත් අල්මාරි දෙකක්, රන්මාලයක්, ටීපෝ සෙට් එකක්, වීදුරු භාණ්ඩ මෙන්ම තවත් උපකරණ රැසක් තිබූ බවට හෙළි වී තිබෙනවා.
ඔහු මීට පෙරද බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු වන අතර මත්ද්‍රව්‍ය පානයටද ඇබ්බැහි වූවෙකු බවට වාර්තා වෙනවා. මොහු විසින් එකවරම සහෝදරයින් දෙදෙනා මරාදමා බඩු සොරකම් කරන්නට ඇතැයි සැකකෙරෙන අතර ඔහු ඝාතනයන් සිදුකළ බවට පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දොර විවෘත වූ නිවස තුළට යන විට ඇටකටු තිබෙනු දැක එයට රෙද්දක් දමා වසා ඉන් අනතුරුව බඩු සොරකම් කරගෙන ගිය බවයි.