ප්‍රවීණ ගායන ශිල්පිනි අයිරාංගනී පෙරේරාගේ සැමියා දිවිගමන නිමාකර තිබෙනවා.
මේ ඒ ගැන දයාන් විතාරණයන් තැබූ සටහනකි....
'ත්‍රී සිස්ටර්ස්' ප්‍රකට ගායිකා වෘන්දයේ බාලම සොයුරිය වන අයිරාංගනී පෙරේරාගේ ප්‍රියාදර සැමියා අද දැයෙන් සමුගනී ........................................
මා වෙසෙන රාජගිරිය කමතවත්ත පෙදෙසේ සද්ගුණවත් ධානපතියෙකු වන ඕපාත කංකානම්ගේ එඩ්වඩ් නොහොත් සැවොම ආදරයෙන් ඇමතූ 'රාළහාමි මහත්තයා' ඉකුත් ජුනි 27 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඔහු ප්‍රකට ගායිකාවක් වන අයිරාංගනී පෙරේරාගේ ප්‍රියාදර සැමියා ය.
1951 වසරේ අගෝස්තු මස 27 වැනිදා උපන් ඔහු හරියටම තම 71 වැනි වියට දෙමසකට ඉහත දිනයේම මෙලොවින් සමුගත්තේය. ප්‍රවීණතම ගායිකාවක් වන ඉන්ද්‍රාණී පෙරේරා සහ ඇගේ සොයුරියන් දෙදෙනා ගීතවත් වන 'ත්‍රී සිස්ටර්ස්' ගායන කණ්ඩායම අතිශය ප්‍රකට අතර අයිරාංගනී - එඩ්වඩ් යුවළ ද කලාවට බෙහෙවින් හිතෛෂී යුවළකි.
මගේ නිවසට යාබධ කමතවත්ත විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ද පුරෝගාමීව කටයුතු කළ ඔහු ප්‍රදේශයේ ද අසරණ දුප්පත් පිරිස් වෙනුවෙන් නිබඳව ආහාර පාන ලබාදෙමින් සිදුකරන පරිත්‍යාගයන් මම ද සියැසින්ම දැක ඇත්තෙමි. එනිසාම ප්‍රදේශයේ ද ඔහු කාගේත් ආදරය දිනාගත් චරිතයක් වන අතර ආගම දහමට ද බොහෝ ලැදි කෙනෙකි.
ඔහුට සංදීප් ඕපාත නම් එකම පුතෙකු සිටින අතර, අප හිතාදර ඉන්ද්‍රාණී අක්කාගේ දියණිය වන අංජලී විවාහ වන දිනයේ මා මුල්වරට එඩ්වඩ් අයියාගේ පවුලේ ඡායාරූප ගෙන පසුව එම ඡායාරූපයක් විශාලණය කොට ඔවුන්ගේ නිවසේ තබාගැනීමට ද තෑගි කළෙමි. එම ඡායාරූප එකතුවක්ම මේ සමග ගෙන එමි.
ඔහුගේ නිසල දේහය මේ වන විට බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 5. 30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.
අයිරාංගනී හිතාදරියට සේම සංදීප් පුතු ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය දන්වන අතරම රාළහාමි මහතාට නිවන් සුවය දුරක නොවේවායි පතමි !!!